ලෙබනනය තුළ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ එරට සෞඛ්‍ය සේවාවන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාර සංඛ්‍යාව 149 දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කරයි. මෙම ප්‍රහාර හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් ඇතුළු පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් 233 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. සිවිල් වැසියන්, සෞඛ්‍ය සේවකයින් සහ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල වන මෙම ප්‍රහාර ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක් වන අතර, එය කිසිසේත්ම පිළිගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩූජරික් අවධාරණය කළේය. පසුගිය අඟහරුවාදා ටයර් (Tyre) දිස්ත්‍රික්කයේදී ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි සිවිල් ආරක්ෂක සේවකයින් තිදෙනෙකු ද මෙලෙස ඊශ්‍රායල ප්‍රහාරවලට ගොදුරු වී මියගොස් තිබේ.
පවතින ප්‍රචණ්ඩත්වය හමුවේ ලෙබනනයේ ආහාර සුරක්ෂිතතාව ද දරුණු ලෙස පිරිහී ඇති අතර, 2026 අප්‍රේල් සහ අගෝස්තු අතර කාලය තුළ පුද්ගලයින් මිලියන 1.24ක් පමණ උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. මේ අතර, දකුණු ලෙබනනයේ ප්‍රදේශ 16ක ජනතාවට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල බලධාරීන් අලුතින් නියෝග නිකුත් කර තිබේ. පවතින මානුෂීය අර්බුදය හමුවේ ලෙබනනය සඳහා අවශ්‍ය මූල්‍ය ආධාරවලින් මෙතෙක් ලැබී ඇත්තේ 38%ක ප්‍රතිශතයක් පමණක් බවත්, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවත් මානුෂීය ඒජන්සි අනතුරු අඟවා සිටියි.














