දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ප්‍රකට ලෙබනන් මාධ්‍යවේදිනියක වන අමල් ඛලීල් (Amal Khalil) ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇය සමඟ සිටි ඡායාරූප ශිල්පිනියක බරපතළ තුවාල ලබා තිබේ. ‘Al-Akhbar’ පුවත්පතේ සේවය කළ 43 හැවිරිදි ඛලීල් මහත්මිය, අල්-ටයිරි (al-Tayri) නගරය අසල සිදුවීම් වාර්තා කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේය.
මාධ්‍යවේදිනිය සහ නිදහස් ඡායාරූප ශිල්පිනී සයිනාබ් ෆරාජ් (Zeinab Faraj) ගමන් කරමින් සිටි රථයට ඉදිරියෙන් වූ වාහනයකට මුලින්ම ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඉන් බේරීම සඳහා ඔවුන් අසල වූ නිවසකට ඇතුළු වී තිබේ. පසුව එම නිවස ඉලක්ක කර ගනිමින් දෙවන ප්‍රහාරය එල්ල වී ඇති අතර සුන්බුන් අතරින් අමල් ඛලීල්ගේ සිරුර සොයාගෙන ඇත. ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ තමන් මාධ්‍යවේදීන් ඉලක්ක නොකරන බවත්, සිදුවීම පිළිබඳ වාර්තා ලැබී ඇති බවත්ය.
ඊශ්‍රායලය සහ හෙස්බොල්ලා සංවිධානය අතර පසුගිය අප්‍රේල් 16 වනදා ප්‍රකාශයට පත් කළ දින 10ක සටන් විරාමයෙන් පසුව වාර්තා වූ මාරාන්තිකම දිනය මෙය වූ අතර, බදාදා දින පමණක් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.














