කැමරූන් රාජ්‍යයේ දස දින සංචාරයක නිරත වන ලියෝ පාප්වහන්සේ, එම රටේ පවතින දූෂණය මුලිනුපුටා දැමීමටත්, බලවතුන්ගේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහි වීමටත් පියවර ගන්නා ලෙස එරට රජයෙන් දැඩි ඉල්ලීමක් කළහ. 1982 වසරේ සිට කැමරූනය පාලනය කරන ජනාධිපති පෝල් බියා ඉදිරියේම පාප්වහන්සේ මෙම අදහස් පළ කිරීම විශේෂත්වයක් වූ අතර අධිකාරී බලය විකෘති කරන සහ එහි විශ්වාසනීයත්වය පළුදු කරන “දූෂණයේ දම්වැල්” බිඳ දැමිය යුතු බවත්, ලාභය වෙනුවෙන් පවතින දැඩි පිපාසයෙන් හදවත් නිදහස් කරගත යුතු බවත් උන්වහන්සේ එහිදී අවධාරණය කළහ. කැමරූනයේ ඉංග්‍රීසි භාෂාව කතා කරන ප්‍රදේශවල පවතින ගැටුම් හේතුවෙන් දහස් ගණනක් මියයාම පිළිබඳව කණගාටුව පළ කළ පාප්වහන්සේ, සාමය සහ යුක්තිය වෙනුවෙන් නිර්භීත පියවරක් තැබීමට කාලය එළඹ ඇති බව පෙන්වා දුන් අතර උතුරු කැමරූනයේ බෝකෝ හරාම් වැනි සන්නද්ධ කණ්ඩායම් නිසා ඇති වී තිබෙන ගැටුම් තරුණ පරපුරේ අධ්‍යාපනය සහ අනාගත බලාපොරොත්තු උදුරාගෙන ඇති බව ද සඳහන් කළහ. මෙම අප්‍රිකානු සංචාරය අතරතුර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දෙවන වරටත් පාප්වහන්සේව විවේචනයට ලක් කර ඇති අතර විශේෂයෙන්ම ඉරාන යුද්ධය සම්බන්ධයෙන් උන්වහන්සේ දරන විවෘත ස්ථාවරය ඊට හේතු වී තිබේ. කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ ප්‍රකාශ නොසලකා හරිමින් යුද්ධයට එරෙහිව සිය හඬ දිගින් දිගටම අවදි කරන බව ලියෝ පාප්වහන්සේ රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇති අතර පාප්වහන්සේගේ මෙම සංචාරය නිමිත්තෙන් කැමරූනයේ බෙදුම්වාදී කණ්ඩායම් දින තුනක සටන් විරාමයක් ප්‍රකාශ කිරීම හේතුවෙන් සිවිල් වැසියන්ට සහ අමුත්තන්ට නිදහසේ ගමන් කිරීමට අවස්ථාව ලැබී ඇත.














