27 April 2024
#දේශීය

මේ රටේ ජනතාවට සිංහල අවුරුද්ද සමරන්න දෙන්න, රට විනාශ නොකර – මන්ත්‍රී රෝහිත

තම වෘත්තිය අයිතිවාසිකම , විශ්ව විද්‍යාලීය ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි බවත් ප්‍රචණ්ඩත්වය පෙන්නවමින් අරගලකාරී හැසිරීම මෙම අවස්ථාවේ නැගිසිටින රටකට විශාල බාධාවක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, “2022 අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඉඳන් අපේ රට අස්ථාවරභාවයක තිබුණේ. ඒ අනුව තමයි මේ රටේ ජනතාවට යම් යම් වෙනස්කම් සහ නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණදෙන්න සිදුවුණේ. මේ රටේ ජනතාව එදා කොවිඩ් වසංගතය, පාස්කු ප්‍රහාරය මේ සියලු දේවල් සමඟ සිංහල අලුත් අවුරුද්ද සමරන්න බැරි වුණා. ඒ අනුව 2023 වර්ෂයේ රටේ ජනතාව සිංහල අලුත් අවුරුද්ද සමරන්න ලැස්ති වෙන්නේ. මේ අවස්ථාවේ මිනිස්සුන්ට ආර්ථික වශයෙන් අමාරුකම් තිබෙනවා. ඒ අමාරුකම්වලදි ප්‍රධාන වශයෙන් අපි දන්නවා තෙල් මිල ඉහළ යාම හැම කෙනෙකුටම බලපානවා. දැන් මේ වන විට තෙල් මිල පහත දාලා තිබෙනවා. ඒ වගේම අද මධ්‍යම රාත්‍රි 12 සිට ගෑස්වල මිල අඩුවීමක් තිබෙනවා. ඒ වගේම නොයෙකුත් ආර්ථික වශයෙන් අපි හිටපු තැනට වැඩිය යම් වෙනසක් අද පැහැදිලිව අපිට දකින්න පුළුවන්වෙලා තිබෙනවා. මේ අවස්ථාවේදී සංචාරකයෝ එනවා විතරක් නොවේ සංචාරක ව්‍යාපාරය තිබෙන ප්‍රදේශවල ආර්ථිකය ශක්තිමත්වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අපේ ශ්‍රමිකයන් විදේශ රටවල්වලට ගිහිල්ලා මුදල් ටිකත් ලංකාවට එවනවා. ඒ වගේම අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් වෙනවා. ඩොලරය යම් පහත වැටීමක් තිබෙනවා. රුපියලේ අගය වැඩිවීමක් වෙනවා. භාණ්ඩවල මිල අඩුවීමක් තිබෙනවා. මේ අවස්ථාවේ ජනතාව සිංහල අවුරුද්ද සමරන අවස්ථාවේදී කොටසක් රට විනාශ කරන්න හදනවා. ඊයේ දවසෙදීත් පෙළපාලි එනවා. මේ මොකක්ද කරන්න හදන්නේ. යම්තම් මේ රටේ මිනිස්සු නිදහසේ තමන්ගේ සිංහල අවුරුද්ද සමරන්න හදනකොට මහා පාරට බැහැලා හොඳට යන රට යම් විදිහකට ඔලුව උස්සන්න හදන විට රට අස්ථාවරභාවයක් ඇති කරන්න පුළුවන්ද කියලා මේ උත්සහ කරන්නේ. මේ කාට උනත් කියන්නේ තමන්ට තිබෙන වෘත්තිය අයිතිවාසිකම , විශ්ව විද්‍යාලයේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න. පාරට ඇවිත් ප්‍රචණ්ඩත්වය පෙන්නලා මේ විදිහට හැසිරීම එක පැත්තකින් මේ අවස්ථාවේ ඔලුව උස්සන රටක් හැටියට එක මහා බාධාවක් වෙනවා. කරුණාකරලා මේ රටේ ජනතාවට සිංහල අවුරුද්ද සමරන්න දෙන්න රට විනාශ නොකර. රටේ ජනතාව දැන් මේ පාරට එන, විරෝධතාවය දක්වන පිරිස පිළිබඳව දැඩි පිළිකුල් සහහගත ලෙස කතා කරන්නේ.
ඒ වගේම අපි දැක්කා සමහර වෘත්තිය සමිති නායකයෝ හැසිරෙන විදිහ. වෘත්ති සමිති කියලා කියන්නේ අපේ රටේ කම්කරුවන්ගේ , අපේ රටේ රාජ්‍ය සේවකයාගේ හෝ පෞද්ගලික අංශයේ සේවකයාගේ ඔවුන්ට ලැබිය යුතු දේවල් ඒ සියල්ල ලබාගැනීමටයි වෘත්තිය සමිති බිහිවෙලා තිබෙන්නේ. හැබැයි වෘත්තිය සමිති නායකයෝ යම් යම් විදිහට එය අයුතු ප්‍රයෝජන ගන්නවා. ඊයේ පෙරේදා තෙල් සංස්ථාවට සම්බන්ධ වෙන වෙනත් පක්ෂයක වෘත්තිය සමිති කෙනෙක් කියනවා ඔවුන් මුළු ලංකාවේම තෙල් බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා කියලා. ඔවුන් ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා. මේ තෙල් සංස්ථාවේ වෘත්තිය අයිතිවාසිකම් බේරගන්න ඕන පාලන අධිකාරියත් සමඟයි. මේ රටේ ජනතාවට තෙල් ටික ගහන්න බොහෝම අමාරුවෙන්. ඒක බෙදා හැරීම නැවැත්තුවා කියලා සතුටින් කතා කරනවා. ඒ වගේම සමහරු සතුටින් කතා කරනවා උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර බලන්නේ නෑ කියලා. කාගෙන්ද මේ පළිගන්නේ. පළිගන්නේ අහිංසක මේ රටේ සිටින ජනතාවගෙන් සහ දරුවන්ගෙන්. දරුවන්ගෙන් මේ විදිහට පළිගන්න පුළුවන්ද. ඒ නිසා මේ විදිහට වෘත්තිය සමිති මේ ආකාරයට යම් යම් පිරිස් හැසිරුණොත් මිනිස්සුන් වෘත්තිය සමිති කෙරෙහි තිබෙන ගරුත්වයක් නැති කරගන්න තත්වය අද පත්වෙලා තිබෙනවා. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ දවස්වල ඉන්නේ වෙනදට වැඩිය තමන්ගේ බලාපොරොත්තු සුන්වෙච්ච විදිහට. එතුමා යම් තැති ගැන්වීමකින් ඉන්නේ. එතුමාගේ ඉන්න අනෙකුත් නායකයෝ ටික ඉතා ඉක්මණින් ආණ්ඩුවට එකතුවෙයි කියලා එතුමාට බයක් තිබෙනවා. ඒ තත්වය උදාවීගෙන යනවා. එතුමාට දිට්ඨධම්වේදනීය කර්මය පඩිසන් දෙනවා වගේ මට පේන්නේ. එදා එක්සත් ජාතික පක්ෂය එකෙන් කඩාගෙන ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න තමයි සජිත් ප්‍රේමදාස මහතා හැදුවේ. හැබැයි දැන් සජිත් ප්‍රේමදාස මහතාට දිට්ඨධම්වේදනීය කර්මය පඩිසන් දිලා ඒ ඉන්න අය ආණ්ඩුවට එකතුවෙන්න හදනවා සජිත් මහතාව දාලා. අපිට දැන් පේනවා සජබය ඉවරවෙන තත්වයට පරිවර්තනය වෙලා තිබෙනවා. තව ටික දවසක් යනකොට, රට ස්ථාවර වන කොට, ආර්ථික වශයෙන් හැදෙනකොට සජබේ සිටි පිරිස සජිත් ප්‍රේමදාස මහතාව තනි කරලා නැවතවතාවක් සිරිකොතට එන තත්වයක් පැහැදිලිව පේනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි බොහෝම පැහැදිලිව අපේ වගකිම කියනවා ඡන්දයක් තියන්න කියලා . අපි ලෑස්ති පළාත් පාලන මැතිවරණයට. පළාත් පාලන මැතිවරණයේදී පුළුවන්කමක් තිබෙනවා බොහෝම පැහැදිලිව මේ රටේ ජනමතය කොතනද තියන්නේ කියලා බලන්න. ඔය පුරසාරම් දොඩවන අයට ජනමතය කොහොමද කියන එක අපි දන්නවා. අපි දේශපාලනය කරන හැටිත් දන්නවා. අපි ඡන්දය කරන හැටිත් දන්නවා. අද ලංකාවේ තිබෙන පක්ෂවලින් සංවිධාන අතින් අපි ජනතාව ඒකරාශි කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉහළ තැනක ඉඳගෙන වගකීම් ටික මේ වන විටත් ඉටුකරමින් සිටිනවා. ”යනුවෙන් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *