සැතපුම් ගණනක් විහිදුණු දරුණු උණුසුම් කාලගුණයක් (සෙල්සියස් අංශක 48 ඉක්මවා) මැද දිනකට පැය 10කට අධික කාලයක් විදුලිය විසන්ධි වීම හේතුවෙන් ලිබියාවේ අගනුවර වන ත්‍රිපොලි සහ ඒ අවට ප්‍රදේශවල දැඩි මහජන විරෝධතා සහ සිවිල් නොසන්සුන්තාවන් හටගෙන තිබේ.
දශක ගණනාවක දේශපාලන අස්ථාවරභාවය, යටිතල පහසුකම් පිරිහීම සහ නිසි නඩත්තු නොමැතිකම හේතුවෙන් ලිබියාවේ විදුලිබල පද්ධතිය මුළුමනින්ම බිඳ වැටී ඇති බව බලශක්ති විශේෂඥයෝ පෙන්වා දෙති. තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි වූ තැන විරෝධතාකරුවන් මාර්ග අවහිර කරමින්, ටයර් පුළුස්සමින් සහ රාජ්‍ය ආයතන වසා දමමින් දැඩි විරෝධතාවක නිරතව සිටිති. මෙහිදී ඇති වූ නොසන්සුන්තාවන් හේතුවෙන් ‘එල් ෆීල්’ (El Feel) තෙල් හා ගෑස් ක්ෂේත්‍රයේ මෙහෙයුම් පවා තාවකාලිකව නතර කිරීමට ජාතික තෙල් සංස්ථාවට (NOC) සිදුවිය.
2014 වසරේ සිට රට අභ්‍යන්තරයේ පවතින දේශපාලන බෙදීයාම් සහ ගැටුම් හේතුවෙන් ලිබියාවේ පුරවැසියන් දිගුකලක සිට අත්‍යවශ්‍ය මූලික සේවාවන් නොමැතිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














