ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 26 වන යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී අද (01) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලදී.
රාජකාරි භාරගැනීමට ප්‍රථම නව යුද්ධ හමුදාධිපතිවරයා බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වූ අතර, අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් ද පිළිගැන්විණි. සර්ව ආගමික වතාවත් මධ්‍යයේ ඔහු සිය නව ධුරයේ රාජකාරී අරඹනු ලැබීය.
මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි සිසුවකු වන ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න, 1990 ජුලි මස 14 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට එක් විය. දශක තුනකට අධික සිය කීර්තිමත් හමුදා දිවිය තුළ ඔහු රෙජිමේන්තු අණදෙන නිලධාරී, බලසේනාධිපති, සේනාංකාධිපති, ආරක්ෂක සේනා ආඥාපති – නැගෙනහිර, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක, විධායක ජෙනරාල් මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු වැදගත් අණ සහ මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා නාවික පශ්චාත් උපාධි පාසලෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි හිමිකරගෙන ඇති ඔහු, සටන් බිමේ ප්‍රදර්ශනය කළ වීරත්වය වෙනුවෙන් රණශූර පදක්කමින් (දෙවරක්) සහ උත්තම සේවා පදක්කමින් පිදුම් ලබා තිබේ.
















