දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජීවිත යළි ගොඩනැගීමේ සහන හා ප්‍රතිසාධන වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් 500,000කට ආසන්න මුදලක් රැස් කර ගනිමින්, සිංහ ජාත්‍යන්තර බහු මණ්ඩල දිස්ත්‍රික් 306 (Lions International Multiple District 306) දිවයින පුරා ප්‍රතිසාධන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි. මෙම අරමුදල්වලින් සැලකිය යුතු කොටසක් Lions Clubs International Foundation (LCIF) මඟින් ලබා දුන් ආපදා ප්‍රදානයක් ලෙස හිමිව ඇත.
ආපදාව ඇති වූ මුල් අවස්ථාවේ සිටම ශ්‍රී ලංකාව පුරා සිටින සිංහ සාමාජිකයින් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ හදිසි සහන සැපයීමට දායක විය. LCIF හි අනුග්‍රහය යටතේ මේ වන විට නිවාස, පාසල්, රෝහල් සහ ප්‍රජා යටිතල පහසුකම් යළි ගොඩනැගීමේ ව්‍යාපෘති රැසක් සිංහ සමාජය විසින් ආරම්භ කර ඇත.
මෙහිදී පාසල් සහ පන්ති කාමර ප්‍රතිසංස්කරණය කිරීම, හානියට පත් නිවාස යථා තත්ත්වයට පත් කිරීම, රෝහල් සඳහා වෛද්‍ය උපකරණ ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීම සහ පීඩාවට පත් පවුල්වලට දෛනික ජීවිතය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය දිරිය ලබාදීම වැනි ක්‍රියාමාර්ග රැසක් සම්පූර්ණ කර හෝ දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන්ම පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් අතිරේක අරමුදල් ලබාදීමට ද LCIF කැපවී සිටී.
සිංහ සමාජය මෙවැනි ස්වභාවික ආපදාවන්හිදී සහන සැලසීම සඳහා දීර්ඝ ඉතිහාසයක් ඇති සංවිධානයකි. 2004 සුනාමි ව්‍යසනය වැනි දරුණු ආපදාවන්හිදී ද සිංහ සමාජය LCIF හි දායකත්වයෙන් ප්‍රතිසාධන මෙහෙයුම්වල සක්‍රීයව නිරත විය. ගංවතුර තත්ත්වය පහව ගිය ද, පීඩාවට පත් ප්‍රජාවන් නැවත නගා සිටුවමින් ඔවුන්ගේ ජීවිත ස්ථාවර වන තෙක් මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සිංහ සාමාජිකයින් කැපවී සිටිති.
















