ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන ඩිජිටල් පද්ධති වෙනුවෙන් ‘ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල 2026’ හිදී රන් සම්මානයක් සහ කුසලතා සම්මානයක් හිමිව තිබේ. BCS ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කළ සම්මාන උළෙල ඊයේ (25) පැවැත්විණි.
‘IntegrityLink – IAU Monitor’ ඩිජිටල් පද්ධතිය සඳහා රාජ්‍ය අංශය සහ රජය යටතේ වන පුරවැසි සේවා කාණ්ඩයේ රන් සම්මානය හිමිව ඇති අතර, ‘Litigation Management System (LMS)’ සඳහා ඩිජිටල් රාජ්‍ය පාලනය කාණ්ඩයේ කුසලතා සම්මානය හිමිව තිබේ. ‘IntegrityLink – IAU Monitor’ මඟින් දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි ආරක්ෂිතව ඉදිරිපත් කර කළමනාකරණය කිරීමට පහසුකම් සලසන අතර, LMS මඟින් රාජ්‍ය ආයතන සම්බන්ධ නඩු කටයුතු සහ මධ්‍යස්ථකරණ කටයුතු කළමනාකරණය කිරීමට පහසුකම් සලසයි.
ජාතික ICT සම්මාන උළෙලේ 2026 ජයග්‍රාහකයින් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම පද්ධති දෙකම ඇතුළත් බව BCS ශ්‍රී ලංකා ශාඛාවේ නිල ජයග්‍රාහක ලැයිස්තුවේ දැක්වේ. ජනාධිපති ලේකම් කාර්යාලය 2025 ජාතික ICT සම්මාන උළෙලේදී ද ජනාධිපති අරමුදලේ e-Services පද්ධතිය වෙනුවෙන් සම්මාන හිමිකරගෙන තිබිණි.
















