එංගලන්තයේ ලන්ඩන් නුවර වීදිවලින් පොලිස් භාරයට ගත් පිහි සහ තියුණු ආයුධ දියකර, ඒවායින් ව්‍යායාම උපකරණ නිෂ්පාදනය කර උතුරු ලන්ඩනයේ නව එළිමහන් ව්‍යායාම මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එන්ෆීල්ඩ් හි ‘පයිම්ස් පාර්ක්’ හි පසුගිය මැයි මාසයේදී විවෘත කරන ලද මෙම නොමිලේ පොදු එළිමහන් ව්‍යායාම මධ්‍යස්ථානය, ස්ටීල් වොරියර්ස් (Steel Warriors) ආයතනය විසින් ලන්ඩන් අගනුවර ස්ථාපිත කළ පස්වන මධ්‍යස්ථානයයි.
2017 වසරේදී ආරම්භ කරන ලද මෙම පුණ්‍යායතනයේ ප්‍රධාන අරමුණ වන්නේ පිහි ආශ්‍රිත අපරාධ මර්දනය සඳහා නව ප්‍රවේශයක් ලබාදීම සහ තරුණ ජීවිත ආයුධවලින් විනාශ වීමට ඉඩ නොතබා ශක්තිමත් පවුරක් ලෙස ගොඩනැඟීම බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි. මෙමඟින් නගරයේ වීදිවලින් අත්අඩංගුවට ගන්නා මාරාන්තික ආයුධ, තරුණ පරපුරේ කායික හා මානසික සුවතාවය නංවන ව්‍යායාම උපකරණ බවට ප්‍රතිචක්‍රීකරණය කර සමාජගත කිරීම කැපී පෙනෙන විශේෂත්වයකි.
















