ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට සමගාමීව පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කළ ‘Pink තරගය’ පසුගියදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී Dambulla Sixers සහ Jaffna Kings කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්විණි. අඛණ්ඩව දෙවන වරටත් සංවිධානය කෙරුණු මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණ වූයේ පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම පිළිබඳව ජාතික මට්ටමින් ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීම සහ එමගින් ජීවිත බේරාගැනීම සඳහා වන පණිවිඩය පුළුල් ලෙස ප්‍රචාරය කිරීමයි.
Dambulla Sixers කණ්ඩායම මෙම තරගය සඳහා විශේෂයෙන් සකස් කළ රෝස පැහැති ක්‍රීඩා ඇඳුම් සහ හෙල්මට් භාවිතා කළ අතර, තරගය පුරාම ‘Touch, Look, Check’ (TLC) යන පිළිකා හඳුනාගැනීමේ පණිවිඩය ක්‍රීඩාංගණයේ දැවැන්ත තිර සහ සජීවී විකාශන හරහා ප්‍රදර්ශනය කරන ලදී. මෙම වැඩපිළිවෙල සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික පිළිකා මර්ධන වැඩසටහන, මහරගම අපේක්ෂා රෝහල සහ ශ්‍ර්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය ඇතුළු ආයතන රැසක පූර්ණ සහයෝගීතාවයෙන් ක්‍රියාවට නැංවිණි.
තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් විසින් මිලදී ගත් නිල රෝස පැහැති ටී-ෂර්‌ට හරහා ලැබුණු සියලුම ආදායම් ඉන්දිරා පිළිකා භාරය වෙත පරිත්‍යාග කෙරුණි. මෙම අරමුදල් රසායනික චිකිත්සාවලට ලක්වන රෝගීන් සඳහා අවශ්‍ය කෘතිම කෙස් කළඹ සකස් කිරීම, පියයුරු ප්‍රොස්ටෙසිස් ලබාදීම සහ අනෙකුත් රෝගී සත්කාරක සේවා සඳහා යොදවනු ලබන අතර, ‘සුව අරණ’ සහ SOS ළමා ගම්මානයන්හි දරුවන් ද ක්‍රීඩකයන් සමඟ පිටියට එක්වෙමින් රෝගය පිළිබඳ සමාජ අවධානය තවදුරටත් තහවුරු කළේය.
















