උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාවගෙන් ශ්‍රී ලංකා යුද හමුදාව කිසිදු රන් ආභරණ ප්‍රමාණයක් බලහත්කාරයෙන් ලබාගෙන නොමැති බවත්, මේ වන විට හමුදා භාරයේ පවතින රන් ආභරණ කිලෝග්‍රෑම් 1550ක ප්‍රමාණය කිලිනොච්චිය සහ මුලතිව් මෙහෙයුම්වලදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගබඩාවල තිබී සොයාගත් ඒවා පමණක් බවත් අරුණ ජයසේකර මහතා අවධාරණය කළේය.
මෙම රන් ආභරණ තොගය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාතික ස්වර්ණාභරණ අධිකාරිය සමඟ එක්ව අධිකරණයට භාර දීමේ ක්‍රියාවලියක පවතින බවත්, එම සංකීර්ණ ක්‍රියාවලිය ඉදිරි මාස තුනක කාලය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළේය.
මීට පෙර 2014 වර්ෂයේදී ද හඳුනාගත් පුද්ගලයන් 2015 දෙනෙකුට මෙලෙස රන් ආභරණ නැවත ලබා දී ඇති අතර, ඉදිරි අධිකරණ ක්‍රියාවලියෙන් පසු මෙවර ද නීත්‍යානුකූල හිමිකරුවන් හඳුනාගෙන ඔවුන්ට අදාළ ආභරණ ලබාදීමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. තවද, මෙම කරුණ කිසිදු අවස්ථාවක ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දුවක් ලෙස හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කර නොමැති බව ද හෙතෙම අවධාරණය කළේය.
















