සුඛෝපභෝගී මෝටර් රථ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය ආනයනය කරමින් රුපියල් කෝටි ගණනින් බදු වංචා කළේ යැයි කියන ප්‍රසිද්ධ ගේට්ටු නිෂ්පාදන හා මෝටර් රථ ආනයන සමාගමක හිමිකරුවකුගේ පුත්‍රයකු ඇතුළු දෙදෙනෙකු හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා නියෝග කර තිබෙනවා.මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයකු වන කොළඹ 07 පදිංචි අතිල රවිනක වීරරත්න සහ ප්‍රධාන ගණකාධිකාරී බව කියන අචිනි තාරකා මිහිරානි ඩයස් යන අයයි. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, අඩු වටිනාකමක් යොදා මර්සිඩීස් බෙන්ස් (Mercedes-Benz) රථයක් මෙරටට ආනයනය කිරීමෙන් පමණක් රුපියල් 4,145,581ක (ලක්ෂ 41කට අධික) බද්දක් රජයට අහිමි කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයේ පෙනී සිටි අතර, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබීම සහ සාක්ෂි විනාශ වීමේ අවදානම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.















