මදුරන්කුලිය විවිධ සේවා සමුපකාර සමිතියේ නිලවරණය සඳහා වූ ඡන්ද විමසීම ඊයේ (11) දිනයේදී ප්‍රාදේශික කිහිපයකදී පැවැත්විණි. මදුරන්කුලිය, කඩයමොට්ට, වේලාසිය, කිවුල, නවඩන්කුලම සහ විරුතෝඩේ යන ප්‍රාදේශිකවල ඡන්ද විමසීම සිදු වූ අතර, එහිදී කඩයමොට්ට ප්‍රාදේශිකයේ සභික ධුර 9 න් 8 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.
කඩයමොට්ට ප්‍රාදේශිකයේ ඡන්ද විමසීම අතරතුර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත කැරලි මර්‌දන ඒකකයක් ඇතුළු පොලිස් බලඇණියක් යොදවා තිබුණි. එම ඡන්ද මධ්‍යස්ථානයේදී ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්‌ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතාට අසභ්‍ය ලෙස හැසිරීම සහ ආධාරකරුවෙකුට පහරදීමක් සම්බන්ධයෙන් වාර්‌තා වී ඇතත්, සෙසු ප්‍රාදේශිකවල ඡන්ද කටයුතු සාමකාමීව අවසන් විය.
ප්‍රාදේශික 17 කින් සමන්විත මෙම සමුපකාරයේ සෙසු ප්‍රාදේශිකවල බහුතර බලය ජාතික ජන බලවේගය සතු කරගෙන ඇති අතර, ඉදිරියේදී මහ සභාව පිහිටුවීමේදී එම පක්ෂයට සභාපති ධුරය ලබා ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බව ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්‌ලිමේන්තු මන්ත්‍රී අජීත් ගිහාන් මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායිකා චමරි පෙරේරා මහත්මිය සඳහන් කළේ මදුරන්කුලිය සමුපකාරයේ බලය අත්පත් කර ගැනීමට තමන් තවදුරටත් කටයුතු කරන බවයි.
















