කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) ඉදිකිරීමට නියමිත නව පිටත්වීමේ පර්යන්ත පහසුකම් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව ‘මාගා ඉංජිනේරු’ (Maga Engineering (Pvt) Ltd) සමාගම වෙත ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 7.26ක් සහ රුපියල් බිලියන 3.77ක් (වැට් බදු හැර) වෙන් කර ඇත. මෙම කොන්ත්‍රාත්තුව යටතේ ගුවන් මගීන් සඳහා අලුතින් චෙක්-ඉන් කවුන්ටර 36ක් සහ ගුවන් යානා වෙත සම්බන්ධ කෙරෙන ගුවන් මගී පිවිසුම් දොරටු 06ක් ඉදිකිරීමට නියමිතය.
ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමක් සිදු කළ අතර, ලැබුණු ලංසු අතරින් අඩුම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනය ලෙස මාගා ඉංජිනේරු සමාගම පත් කළ කමිටුවේ නිර්දේශ මත තෝරාගෙන ඇත. ගුවන් තොටුපොළේ මගී පිටත්වීමේ පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම ඉදිකිරීම් සිදු කෙරේ. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලැබී ඇති අතර, එය ගුවන් තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මහෝපකාරී වනු ඇත.
















