රටේ නීතියේ ආධිපත්‍යයට එල්ල වී ඇති තර්ජනය සහ අධිකරණයට සිදුකරන බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන හා ප්‍රධාන තානාපති කාර්යාල දැනුවත් කිරීමට පියවර ගන්නා බව ‘මහජන හඬ‘ සංවිධානය අද (15) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එම සංවිධානය නියෝජනය කරන දේශපාලන නායකයින් මේ බව අනාවරණය කළහ.
මෙරට ඉතිහාසයේ කවරදාකවත් නොවූ විරූ ලෙස නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වී ඇති බවත්, රටේ පළමු පුරවැසියා සහ ඉන් ඉහළ සිටින “බිංදු පුරවැසියා” අධිකරණයට ප්‍රසිද්ධියේ අතපොවන්නේ නම් ජනතාව අසරණ වන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් ලිපි මගින් සහ තානාපතිවරුන් හමුවී ජාත්‍යන්තරය දැනුවත් කිරීමට තම සංවිධානය බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.
රංග දිසානායක නැමැත්තෙකුට එරෙහිව ඇති මරණ තර්ජනය කිරීම් සහ ප්‍රකාශ ලබාගැනීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔහුගේ වැඩ තහනම් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඉල්ලා සිටියේය. කපිල චන්ද්‍රසේන මහතා විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක සඳහන් තොරතුරු පදනම් කරගනිමින් ඔහු මෙම ඉල්ලීම සිදු කළේය.
කිසියම් නඩුවක තීන්දුවක් ලැබෙන දිනය සහ එහි ස්වභාවය පිළිබඳව දේශපාලන නායකයින් කල්තියා ප්‍රකාශ කිරීම මගින් අධිකරණයට බලපෑම් සිදුවී ඇති බවට සැකයක් මතු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා පෙන්වා දුන්නේය. නඩු තීන්දු පිළිබඳව ජනාධිපතිවරයා හෝ ටිල්වින් සිල්වා මහතා කල්තියා ප්‍රකාශ කරන්නේ නම් අධිකරණ පද්ධතියේ අවශ්‍යතාවය කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.














