පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීම සහ ජල විදුලි නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම මගින් විදුලි ජනන වියදම අඩු කර, ඉදිරියේදී විදුලිබිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (15) ප්‍රකාශ කළේය. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල යටතේ ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ලැබූ සේවකයන්ට වන්දි ලබාදීම වෙනුවෙන් දෙහිවලදී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම තෝරාගත් සේවකයන් 1,898 දෙනෙකු සඳහා මෙහිදී මූල්‍ය වන්දි පිරිනමන ලදී.
ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රධාන අරමුණක් වන්නේ ආයතනික කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමයි.අලුතින් පිහිටුවන ආයතන හරහා පාරිභෝගිකයාට උසස් සේවාවක් ලබාදීමටත්, ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමටත් රජය බැඳී සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු යන මහත්වරු ද සහභාගී වූහ.














