මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේදී ඊයේ (19) පැවැති උත්සවයකදී පාසල් සිසු සිසුවියන් 500ක පමණ පිරිසක් රචනා කළ ග්‍රන්ථ 587ක් එකවර එළිදක්වමින් සහ ඒවායේ විද්‍යුත් පිටපත් (E-Books) අන්තර්ජාලයට මුදාහරිමින් සුවිශේෂී වාර්තාවක් තබා තිබේ.
හිටපු පාඨශාලාචාර්ය සෙනෙවිරත්න මහලේකම් මහතාගේ මඟපෙන්වීම යටතේ සංවිධාන කළ මෙම වැඩසටහන සඳහා මහාමායා විද්‍යාලයේ සිසුවියන් 400 දෙනකු සහ දිවයිනේ අනෙකුත් පාසල් නියෝජනය කළ සිසු සිසුවියන් 100 දෙනකු දායක වී ඇත. සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුනෙන්ම රචනා කර ඇති මෙම ග්‍රන්ථ පෙළ ‘හේමමාලා උපහාර ග්‍රන්ථ එළිදැක්වීම’ ලෙස නම් කර තිබේ. දේශීය සංස්කෘතිය තුළ කාන්තාව සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් මෙය ක්‍රියාත්මක කෙරිණි.
එළිදැක්වූ ග්‍රන්ථ සාහිත්‍ය, කලා සහ පර්යේෂණ වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රචනා වී ඇති අතර, සිසුන් දළදා මාලිගාව වැඳපුදාගෙන එම ග්‍රන්ථ දළදා වහන්සේ වෙත පූජා කිරීමෙන් පසු මෙම උත්සවය පැවැත්විණි. වර්තමාන තාක්ෂණික යුගයේ සිසුන් පොත් කියවීමට මෙන්ම ලිවීමට ද පෙළඹවීම කාලෝචිත අවශ්‍යතාවක් බව මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පති ශෂිකලා සේනාධීර මහත්මිය මෙහිදී අවධාරණය කළාය.
මෙම අවස්ථාව සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.














