වර්තමාන ගෝලීය අර්බුද හමුවේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා සම්බුද්ධ දේශනාවන්ගේ මඟ පෙන්වීම අප ජීවිත අලෝකමත් කර ගැනීමට ඉවහල් කර ගත යුතු බව ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා පෙන්වා දෙති. හේතුඵලවාදී දාර්ශනික සිද්ධාන්තය තුළින් දුක, දුක ඇති වීමේ හේතුව, දුක නැති කිරීම සහ එය සාක්ෂාත් කර ගැනීමේ මාර්ගය පහදා දෙන උතුම් ශ්‍රී සම්බුද්ධ දේශනාවේ ඤාණමය ආලෝකයෙන් තම ජීවිත ප්‍රභාමත් කර ගැනීමට උත්සාහ දැරීම උතුම් සම්බුදු තෙමඟුල නිවැරදිව අර්ථවත් කිරීම බව උන්වහන්සේලා වැඩිදුරටත් අවධාරණය කරති.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් නිකුත් කළ මෙම පණිවුඩයේ සඳහන් වන්නේ වර්තමාන බලශක්ති අර්බුදය ඇතුළු සමාජ අභියෝග හමුවේ ඡන්දය, ද්වේශය, භය සහ මෝහය යන සතර අගතීන්ගෙන් බැහැර විය යුතු බවයි. ඒ වෙනුවට මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සුපෝෂිතව ප්‍රතිපත්ති පූජාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ස්වර්ථ – පරාර්ථ සාධනයෙහි නිරත වන ලෙස උන්වහන්සේලා සමස්ත ලක්වාසී ජනතාවගෙන් ඉල්ලා සිටිති. තෙරුවන් කෙරෙහි නොසැලෙන ප්‍රසාදයෙන් සහ ආර්ය කාන්ත ශීලයෙන් යුතුව කටයුතු කිරීම නිවනට නැඹුරු වීමට හේතු වන බව සිහිපත් කරමින්, සැමට ධර්මාලෝකයෙන් පිරි සුභ වෙසක් මංගල්‍යයක් වේවායි උන්වහන්සේලා ආශිංසනය කරති.
















