මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සිදු කළ ඩෙංගු මර්දන මෙහෙයුමකදී, ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි තම පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවාස හිමියන් ඇතුළු පිරිසකට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 21ක දඩ මුදලක් නියම කර තිබේ.
මෙය එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම දඩ මුදල බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් කල්දේරා මහතා පවසයි. පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක කළ නිවාස පරීක්ෂා කිරීමේ වැඩසටහන්වලදී නීති උල්ලංඝනය කළ පුද්ගලයින්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් පසු මෙම දඩ මුදල් නියම කෙරිණි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉදිරියටත් මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බැවින්, තම නිවෙස් සහ අවට පරිශ්‍ර පිරිසිදුව තබා ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටී.














