මහරගම, පමුණුව පාරේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මහලේ ඊයේ (18) හටගත් ගින්න අහඹු අනතුරක් නොව, එම නිවසේ හිමිකරු විසින්ම සැලසුම් සහගතව සිදුකළ ගිනි තැබීමක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඊයේ පස්වරුවේ හටගත් මෙම ගින්න ප්‍රදේශවාසීන් එක්ව මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි.
ගින්න නිවා දැමීමෙන් පසු නිවස තුළ සිටි බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූ පිරිමින් දෙදෙනෙකු වහාම රෝහල්ගත කිරීමට පියවර ගැනුණි. ඔවුන් නිවසේ හිමිකරු සහ එහි පදිංචිව සිටි කුලී නිවැසියෙකු බව හඳුනාගෙන ඇත. කෙසේ වෙතත්, නිවස පරීක්ෂා කිරීමේදී එහි කාමරයක් තුළ තිබී කාන්තාවකගේ සහ ඇයගේ දියණියගේ මළ සිරුරු හමු වී තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි කාන්තාවක් සහ 16 හැවිරිදි දැරියකි.
මේ අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 76 හැවිරිදි නිවසේ හිමිකරු ද අද (19) උදෑසන ජීවිතක්ෂයට පත් වූ බව මහරගම පොලිසිය තහවුරු කරයි. පවුල් ආරවුලක් හෝ පුද්ගලික හේතුවක් මත මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවට සැක කෙරෙන අතර, මහරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














