උසස් පෙළ විභාගයට සූදානම් වන පාසල් දැරියක් මහරගම නගර සභා පරිශ්‍රයේ පිහිටි පුස්තකාලයේ පාඩම් කරමින් සිටියදී, නිලධාරීන් කිසිදු වග විභාගයකින් තොරව පුස්තකාලයේ දොරගුළු වසා පිටවී යාම නිසා ඇය පැය භාගයක පමණ කාලයක් එහි සිරවී සිට ඇත. මහරගම නාගරික මන්ත්‍රීනි රසිකා ගුණසිංහ මහත්මිය විසින් මෙම අනාවරණය සිදු කර තිබේ.
පාඩම් කිරීමෙන් අනතුරුව දැරිය පිටව යාමට පැමිණි අවස්ථාවේදී දොරගුළු වසා ඇති බව දැක බිය වී කෑගසා ඇති අතර, පුස්තකාලය අසල අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි දෙදෙනෙකුට එම ශබ්දය ඇසී සභා පරිශ්‍රයේ සිටි නිලධාරීන් දැනුවත් කර ඇත. පසුව සභා පරිශ්‍රයේ සිටි කම්කරුවන් දෙදෙනකු පැමිණ දොරවල් විවෘත කොට සිසුවිය පිටතට ගෙන ඇති අතර, එහිදී කම්කරුවන් විසින් ජංගම දුරකථනයකින් එම අවස්ථාව වීඩියෝ ගත කර ඇති බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.














