විවාහක කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා සිටි බවට චෝදනා ලැබ සිටි මහව මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. අසිත ගෝමී අලහකෝන් මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නඩු තීන්දුව ප්රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බවයි.
2013 නොවැම්බර් 13 වැනිදා සිට දෙසැම්බර් 26 වැනිදා දක්වා කාලය තුළ කාන්තාවකගෙන් අල්ලසක් ලෙස ලිංගික ක්රියාවක් ඉල්ලා සිටීම සහ එම වසරේ දෙසැම්බර් 26 වැනිදා ලිංගික ක්රියාවක නිරත වීමට උත්සාහ කිරීම යන චෝදනා දෙක යටතේ අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් අනුෂා සම්බන්ධම්පෙරුම මහත්මියත්, විත්තිකරු වෙනුවෙන් නීතිඥ දර්ශන කුරුප්පු මහතාත් අධිකරණයේ පෙනී සිටියහ.
















