මහවැලි වලව කලාපයේ ගොවි ජනතාව නවීන කෘෂි ක්‍රමවේද භාවිත කරමින් මෙවර වී වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට සමත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මෙම නවීන තාක්ෂණික එළඹුම හේතුවෙන් අක්කරයකට බුසල් 150 සිට 160 දක්වා අස්වැන්නක් ලබාගත් ගොවීන් 25 දෙනෙකු, බුසල් 160 සිට 170 දක්වා ලබාගත් ගොවීන් 98 දෙනෙකු, බුසල් 170 සිට 180 දක්වා ලබාගත් ගොවීන් 35 දෙනෙකු සහ බුසල් 180 සිට 190 දක්වා ඉහළ අස්වැන්නක් ලබාගත් ගොවීන් 11 දෙනෙකු වාර්තා වී තිබේ.
විශේෂයෙන්ම, අක්කරයකට බුසල් 200 සීමාවද ඉක්මවා යමින් සුවිශේෂී වාර්තාගත අස්වැන්නක් ලබා ගැනීමට එක් ගොවි මහතෙකු සමත්ව ඇති අතර, එලෙස අක්කරයකට බුසල් 200ට වඩා අස්වැන්නක් ලැබූ ගොවි මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක ත්‍යාගයක් පිරිනැමීමටද පියවර ගෙන ඇත.
මෙලෙස ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම නිසා වී කිලෝවක් නිෂ්පාදනය සඳහා වැය වන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර, එය ගොවි ජනතාවගේ ආදායම වර්ධනය කිරීමටද විශාල රුකුලක් වී තිබේ. රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් මහවැලි වලව කලාපයේ ගොවීන් දැක්වූ මෙම දායකත්වය අගය කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ විශේෂ ප්‍රණාමය එම ගොවි ජනතාව වෙත පිරිනමන බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














