කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි වැදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීව නමැත්තාගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යැයි සැලකෙන මහේෂ් ඔබේසේකර නමැති සැකකරු ලබන 29 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (15) නියෝග කළේය.
හිටපු යුද හමුදා සෙබළෙකු වන මෙම සැකකරු 2023 මැයි මස සිට සේවයට වාර්තා කර නොමැති අයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාතාල කල්ලි නායකයන් රැසක් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව හෙළිවූ බවයි. එසේම ඔහු පදිංචි නිවසේ තිබී යුද හමුදා නිල ඇඳුම් කට්ටල සහ ජීව පතොරම් 8ක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
සැකකරු මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන කිහිපයකට ද සම්බන්ධ බවත්, ඔහු ‘කමාන්ඩෝ සලින්ත’ නැමැත්තා මාර්ගයෙන් ගණේමුල්ල සංජීව හඳුනාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවතීද යන්න පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ඔහුව යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය.














