පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැනටමත් බෙහෙවින් ප්‍රමාද වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. “අප්පමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං” (අප්‍රමාදය නිවනට මඟයි, ප්‍රමාදය මරණයට මඟයි) යන ධම්මපදයේ එන සුවිශේෂී ගාථාව උදාහරණයට ගනිමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පළාත් සභා ඡන්දය නොපවත්වා ආණ්ඩුකාරවරුන් මඟින් පාලනය ගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බවයි. පළාත් සභා මැතිවරණය මෙම වසරේ (2026) පවත්වන බවට රජය පාර්ශ්වයෙන් පළ කරන විවිධ “කොළ එළි” සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා අද (18) අම්බලන්ගොඩ, පෝරඹ පිහිටි ඒ මහතාගේ නිවසේදී කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු සභාපතිවරයා කියා සිටියේ, රජයට සැබෑ වුවමනාවක් තිබුණේ නම් පසුගිය 2025 වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසවලදීම මෙම මැතිවරණය පැවැත්වීමට ඕනෑතරම් ඉඩකඩ තිබූ බවයි. ඒ සඳහා පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට අදාළ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට හෝ පැරණි සීමා නීර්ණය සමාලෝචනය කිරීම සඳහා නැවත කමිටුවක් පත් කිරීමට රජයට හැකියාව තිබූ බව ඔහු පෙන්වා දුන්නේය. ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ප්‍රධාන ක්‍රමවේද තුනක් පවතින බව සඳහන් කළ ඒ මහතා, ඉන් පළමු ක්‍රමය වන්නේ 1988 මුල් පනතට අනුව මනාප සහිත සමානුපාතික (පැරණි ක්‍රමය) ක්‍රමයට යාම බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දු කර ඇති බවත් පැවසීය. අනෙක් ක්‍රමය වන්නේ 2018 සීමා නීර්ණ කොමිෂන් සභා කමිටු වාර්තාව ගෙන, එය නැවත සමාලෝචනය කිරීම සඳහා පනත සංශෝධනය කර ඒ හරහා අදාළ ඡන්ද කොට්ඨාස මට්ටමින් මැතිවරණය පැවැත්වීම බව ද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.














