මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේදී යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට අමතරව, ඉගැන්වීම් අන්තර්ගතයන් (Content) සංවර්ධනය කිරීම සහ ගුරුවරුන් නිසි ලෙස පුහුණු කිරීම අත්‍යවශ්‍ය සාධක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අවධාරණය කරයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඩිජිටල් කාර්ය සාධක බලකාය, ජාත්‍යන්තර රොටරි සමාජය සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කළාය. එහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන් වැදගත් කරුණු කිහිපයක් මෙන්න:
ස්මාර්ට් පන්ති කාමර යූටියුබ් (YouTube) වීඩියෝවලට පමණක් සීමා නොවී, විෂය නිර්දේශයට අනුකූල ගුණාත්මක ඩිජිටල් අන්තර්ගතයන් ‘ඊ-තක්සලාව’ වැනි රජයේ නිල පද්ධතියක් හරහා ලබාදිය යුතුය. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 මූලික කරගනිමින් වාර්ෂිකව ගුරු සිසුන් 6,000ක් පමණ තාක්ෂණයට හුරු කිරීම හරහා පාසල් පද්ධතියේ ගුණාත්මක වෙනසක් ඇති කළ හැකිය.
පළමු අදියර යටතේ පාසල් 50ක් ඇතුළුව තෝරාගත් පාසල් 100ක් සඳහා සුහුරු පන්තිකාමර (Smart Classrooms) ඉදිකිරීමට රජය සැලසුම් කර ඇත. මෙම ක්‍රියාවලියේදී කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය යොදාගැනීමටත්, පාසල්වල විදුලි හා අන්තර්ජාල පිරිවැය වැනි ප්‍රායෝගික ගැටලු කළමනාකරණයටත් අවධානය යොමු කෙරේ. අධ්‍යාපන පද්ධතියේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ පස් අවුරුදු සැලැස්ම ඉදිරියේදී අවසන් කරන බවත්, ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.














