හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීම සහ ඉදිරි නඩු විභාගයන් පිළිබඳව ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ දැඩි ලෙස විවේචනය කරමින් විපක්ෂ නායකවරයා අද (මැයි 04) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ අමාත්‍යවරුන් අධිකරණ තීන්දු සහ නඩු පවරන දිනයන් පිළිබඳව කලින් ප්‍රකාශ කිරීම හරහා අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. “දැන් අධිකරණයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක තනතුරට ජනාධිපතිවරයා පත්වෙලා වගෙයි පෙනෙන්නේ. කාටද නඩු දාන්නේ, කවදාද දාන්නේ කියලා ආණ්ඩුව තීන්දු කරනවා නම් අධිකරණය ස්වාධීනයි කියලා කියන්නේ කොහොමද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියේය.
ජනාධිපතිවරයා වෙත උපදෙස් මාලාවක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ විමර්ශන ආයතනවලට සහ අධිකරණයට බලපෑම් නොකර ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය යුතු බවයි. එසේම දේශපාලන දඩයම් සඳහා නීතිය අවභාවිත කිරීම වහාම නතර කළ යුතු බවත්, නීතියේ ආධිපත්‍යය සුරැකීමට නම් විධායකය විසින් අධිකරණයේ කාර්යභාරය අතට නොගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක, මෙවැනි දේශපාලන සංදර්ශන හරහා ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ නොකරන ලෙස ද විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.














