රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා වෙත ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලිපියක් යොමු කර තිබේ.
රෝහල්ගතව ප්රතිකාර ලබන හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු විසින් එම ලිපිය පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක මහතා මාර්ගයෙන් නාමල් රාජපක්ෂ මහතා වෙත භාර දී ඇති බව වාර්තා වේ.
2010 වසරේදී නාමල් රාජපක්ෂ මහතා දේශපාලනයට පිවිසීමට අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී තමන් ලබාදුන් උපදෙස් මෙම ලිපියෙන් මහින්ද රාජපක්ෂ මහතා යළි සිහිපත් කර තිබේ. දේශපාලනයේ නිරත වන්නේ නම් සිරගතවීමටත් දුක් විඳීමටත් සූදානමින් සිටිය යුතු බව එහිදී තමන් පැවසූ බව ඔහු සඳහන් කර ඇත.
තමන් දේශපාලනයට පිවිසීමෙන් පසු එවකට පැවති ආණ්ඩුව විසින් පදනම් විරහිත චෝදනාවක් එල්ල කර බන්ධනාගාරගත කළ බව සඳහන් කරන හිටපු ජනාධිපතිවරයා, කවුරුන් කුමක් පැවසුවද අධිකරණය කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙස නාමල් රාජපක්ෂ මහතාට උපදෙස් දී තිබේ.
එමෙන්ම, තමන්ට සහ බිරිඳට මේ දිනවල ප්රතිකාර ලබමින් සිටීමට සිදුව ඇති බවත්, යෝෂිත සහ රෝහිත යන පුතුන් දෙදෙනා තම සුවදුක් විමසා බලන බවත් ලිපියේ සඳහන් කර ඇත.
දෙමව්පියන් කරන දේවල් සම්බන්ධයෙන් දරුවන්ට දඬුවම් නොකළ යුතු බව තමන්ගේ මතය බව පවසන මහින්ද රාජපක්ෂ මහතා, තමන්ට බලය හිමිවූ අවස්ථාවලදී දේශපාලන පළිගැනීම් සිදු නොකරන ලෙසද සිය පුතුන්ට උපදෙස් දී තිබේ.
අවසන් වශයෙන්, ඡන්දයෙන් පරාජයට පත්වුවද රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිතා කටයුතු කරන ලෙස නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දෙමින් හිටපු ජනාධිපතිවරයා ලිපිය අවසන් කර ඇත.













