4 May 2024
#දේශීය #පුවත්

උමා ඔය ව්‍යපෘතියේ ජනතාවට ලබා දීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ හිමිවිය යුතුයි – මන්ත්‍රී චන්ද්‍රසේන

මෙම උමා ඔය ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 120 විදුලි ධාරිතාවක් රටට ලබාදෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එහි පූර්ණ ගෞරවය හිමිවියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “ඉරාන ජනාධිපතිතුමා පැමිණ අද උත්සවාකාරයෙන් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කරනවා. එම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩු කාලයේදී. 2011 දී ආරම්භ කරන ලද්දේ. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන කොට විශාල වශයෙන් විරෝධතා පැමිණියා. ජනතා විමුක්ති පෙරමුණේ සමන් විද්‍යාරත්න හිටපු මන්ත්‍රිතුමා විශාල වශයෙන් මෙය කඩාකප්පල් කරන්න කටයුතු කළා. නොයෙකුත් අවලාද කෙරුවා. ජනතාව කුපිත කෙරුවා. ඒ අවස්ථාවේ දී හැම පැත්තෙන්ම තර්ජන, ඝර්ජන කරලා මෙය නවත්වන්න උත්සහ කළේ. නමුත් මේ ව්‍යාපෘතියෙන් විශාල ප්‍රතිලාභයක් රටට, ජාතියට ලැබෙනවා. අපේ රටේ විදුලියේ අවශ්‍යතාවය පිරිමහන්න මෙම ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 120 විදුලි ධාරිතාවක් රටට ලැබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ව්‍යාපෘති මඟින් ලැබෙන වටිනාකම, අගය රටට ඇති වැදගත්කම තේරුම් අරගෙන ඒ අවලාද , අපහාස සහ නොයෙකුත් තර්ජන ඝර්ජන මැද්දේ කරපු නිසා අද දිනයේ අපේ රටට ජාතියට විදුලිය අවශ්‍යතාව සඳහා මෙගා වොට් 120 විදුලි ධාරිතාවක් ලැබෙනවා. රටේ ජනතාවට තමයි මේ ප්‍රතිලාභ සියල්ල ලැබෙන්නේ. මේ පිළිබඳ මම ඉතාම ස්තූතිවන්ත වෙන්න ඕන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට. අපි ඉතාම උත්කර්ෂ අන්දමින් අපේ මැයි දිනය පවත්වන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට කටයුතු කරගෙන යනවා. අපි මැයි 01 දා කැම්බල් පිටියේ තමයි මේ රැස්විම පවත්වන්න සූදානම් කරලා තිබෙන්නේ. විශාල ජනගහනයක් මේ සඳහා පැමිණිමට සූදානම් වී සිටිනවා. මම නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 3000 ට පිරිසක් එන්න සූදානම් වෙලා සිටිනවා. අපි විපක්ෂයේ ඉන්න අවස්ථාවක ගෝල්ෆේස් පිටියේ තමයි ලොකුම මැයි දිනය පැවැත්තුවේ. මේ අවස්ථාවේ දේශපාලන කටයුතු සඳහා ගෝල්ෆේස් පිටිය ලැබෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේත් ඒ හා සමානව ජනගහනයක් පැමිණෙනවා. ඉතා උසස් මැයි දින රැස්වීම පක්ෂයක් හැටියට කරන්න අපි ලෑස්තිවෙලා සිටිනවා.”යනුවෙන් මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙහිදි සඳහන් කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *