ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා සඳහන් කළේ අද (13) පෙරවරු 6.00 වන විට මෙම තත්ත්වය වාර්තා වූ බවයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, බදුල්ලේ අඹෙවෙල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ මේ අතර වේ. මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මාගල්ල සහ දැදුරුඔය ජලාශ ද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ද, මොනරාගල අලිකොටආර සහ මන්නාරම යෝධ වැව ද වාන් දමමින් පවතී.
ජලය මුදාහැරීම සම්බන්ධ විශේෂ තොරතුරු:
රාජාංගන ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරේ. ලුණුගම්වෙහෙර ජලාශයේ දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4,100ක් කිරිඳි ඔයටත්, වෙහෙරගල ජලාශයේ දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2,400ක් මැණික් ගඟටත් නිකුත් කෙරෙමින් පවතී. දැදුරුඔය ජලාශයේ දොරටු 4ක් අඩි 1 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 2,800ක් දැදුරුඔයට එක්වේ.
මේ හේතුවෙන් අදාළ ගංගා සහ ජලාශ ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව ඉදිරි කාලගුණික තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.














