දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් ගතවූ පැය 22ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉතා තද වැසි ඇද හැලී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහිදී වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 204ක අගයක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩට මිලිමීටර් 145.5ක් සහ වතුපිටිවලට මිලිමීටර් 105.5ක වර්ෂාපතනයක් ලැබී තිබේ. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලිමලේ ප්‍රදේශයෙන් මිලිමීටර් 121ක් ද කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම සහ හොරණ ප්‍රදේශවලින් පිළිවෙළින් මිලිමීටර් 102.5ක් සහ 101.5ක් බැගින් ද වර්ෂාපතනයන් වාර්තා වී ඇත.
දිවයින වටා පවතින මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම අද (13) දිනය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ අංශ වැඩිදුරටත් අනතුරු අඟවයි.














