27 April 2024
#දේශීය

Makeup කරගන්නවත් මුදල් නොතිබූ 2020 විශ්ව විවාහක රූ රැජිනගෙන් ආයාචනයක්…

විශ්ව විවාහක රූ රැජින 2020 ජයගත් ශ්‍රී ලාංකික කැරොලයින් ජූරි අද (10) අලුයම ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වූවා ය. ඇය පිළිගැනුමට ඇයගේ පවුලේ සාමාජිකයින් මෙන් ම හිතවතුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස් සිටියහ. එහිදී ඇය ඉතා උණුසුම්ව පිළිගත් අතර, තමන් ලද ජයග්‍රහණය ස්මරණයට හා සුබපැතීම ට පැමිණි පිරිස ට ඇය ඉතා හැඟීම්බරව ප්‍රතිචාර දැක්වූ බවක් දිස්වී ය.

වසර 35ක ට පසුව මෙවන් අවස්ථාවක් ශ්‍රී ලංකාවට උදාකර දුන් ඇය ට බොහෝ ශ්‍රි ලාංකිකයින් සිය ප්‍රතිචාරය උණුසුම්ව පුදන්නට මේ අවස්ථාවට එක්ව සිටීම අගය කළ යුතු මට්ටමක පැවැතුණි.

කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ දක්වා මාර්ගයේ දී ඇය පිළිගැනීමට ජනතාව පෙළගැසී සිටි අතර, ප්‍රධාන උත්සව දෙකක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබුණි. කඳාන පොලිස් ස්ථානය ආසන්නයේ දී ඇය පිළිගැනීමේ ප්‍රධාන උත්සවය පැවැත්වුණි. දෙවැනි පිළිගැනීමේ උත්සවය පැවැත්වූයේ මහබාගේ නගර මධ්‍යයේ දී ය.

ගුවන් තොටුපළේ දී ඇයගෙන් මාධ්‍යවේදීන් ඇසූ පැනයන්ට ඇය දුන් කෙටි පිළිතුර වූයේ “ගොඩාක් ස්තූතියි ඔයාලගෙ උදව්වලට. ගොඩාක් සතුටුයි… මම ඇත්තට ම අමාරුවෙන් මහන්සිවෙලා කරපු දේ නිසා තමයි මේ කිරුළ රට වෙනුවෙන් අරන් ආවේ…” යන්නයි.

කෙසේ වෙතත්, ඇමෙරිකාවේ ලාස්වේගාස් හි පැවැති ලෝක රූ රැජින තරගය තමන් ජයගත්තේ අභියෝ රැසක් මැද්දේ බවත්, ඒ වෙනුවෙන් තමන්ට කිහිප දෙනෙක් උදවු කළ බවත් කැරොලයින් ජූරි කොළඹ දී ද මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළා ය.

“මුලින් ම මම කියන්න ඕනි බොහෝම ස්තූතියි කියලා. මගේ ස්වාමිපුරුෂයාට මම ස්තූති කරන්න ඕනි මාව විශ්වාස කරගෙන මෙච්චර දුරක් ආවාට. ඒ වගේ ම මම ස්තූති කරන්නේ මගේ නැන්දම්මා ට. එයා තමයි මට කිව්වේ මේ තරගයට යන්න කියලා. මම විශේෂයෙන් ඔයාලට කියන්න ඕනි මේ වගේ අයට ශ්‍රී ලාකීය ජනතාව උදව් කළ යුතුයි කියලා.

ඇත්තට ම මට කාගෙන්වත් උදවු ගන්න මට බැරුව ගියා. මගේ ස්වාමිපුරුෂයා, සංගීත් මහත්මයාගෙන් සල්ලි ඉල්ලගෙන තමයි මට Makeup එක කරගෙන මේ ගමන යන්න උදවු කළේ.

මට කරන්න තියෙන එක ම ඉල්ලීම තමයි, ලංකාවෙ කෙනෙක් මේ වගේ තරගයකට යනව නං කරුණාකරලා එයාලට උදවු කරන්න කියන එක.. විතරයි.” යනුවෙන් ඇය මෙම මාධ්‍ය හමුවේදී ඉතා හැඟීම්බරව ප්‍රකාශ කළා ය.

ඉන් අනතුරුව එම මාධ්‍ය හමුවේදී ම අදහස් පලකළ කැරොලයින් ජූරිගේ ස්වාමිපුරුෂයා වන නිශාන්ත දීපාල් මහතා ප්‍රකාශ කළේ, මේ තරගයට සහභාගීවීම ට විදෙස්ගතවීමට ඉල්ලුම් කළ අවස්ථා දෙකක දී තම වීසා ප්‍රතික්ෂේප වූ බවයි. තෙවන අවස්ථාවේ දී වීසා ලබාගෙන තරගය ට සහභාගීවන්න ට ගිය ගමනේ දී දින දෙකක ප්‍රමාදයක් සිදු වූ බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

* සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *