27 April 2024
#දේශීය

විදුලි අර්බුධ ගැන ජනපති දැනුවත් කරනවා – විදුලි බල අමාත්‍යංශය

ජාතික විදුලිබල ක්ෂේත්‍රයේ දැනට මතුව තිබෙන ගැටලු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විදුලි බල අමාත්‍යංශය පැවසුවේ විදුලිබල ක්ෂේත්‍රය තුළ ඉදිරි කාලය තුළ මතුවිය හැකි ගැටලු පිළිබඳව හා ඒවාට ලබා දිය හැකි විසදුම් සම්බන්ධයෙන් අද (10) විදුලිබල අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් මගී ප්‍රවාහන කළමණාකරන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බවයි. මෙම සාකච්ඡාවට විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා, අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, විදුලිබල මණ්ඩල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

2014 වසරේ සිට ගතවූ වසර 5කට අධික කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියට එක ඒකකයකින් හෝ නව විදුලි ධාරිතාවක් එකතු කිරීමට පසුගිය රජය අපොහොසත් වූ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඉදිරි කාලය තුළ කිසිදු හිඟයකින් තොරව විදුලිය උත්පාදනය සඳහා නව විදුලිබල ව්‍යාපෘති රැසක් ආරම්භ කරන බවත් සඳහන් කළේය.

එමෙන්ම විදුලිබල උත්පාදනය සඳහා අනුගමනය කළහැකි ආර්ථිකමය වශයෙන් ලාභදායී විදුලිබල උත්පාදන ක්‍රම සම්බන්ධව දැනටමත් අවධානය යොමු කර තිබෙන බවද පැවසීය.

ජාතික විදුලිබල ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු මෙන්ම ඉදිරි සංවර්ධන කටයුුතු පිළිබඳවත් කෙටි කාලීනව හා දිගු කාලීනව විදුලිබල අර්බුදයට ගතහැකි විසදුම් සම්බන්ධවත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දැනුවත් කිරීම සඳහා ලබන බ්‍රහස්පතින්දා එනම් 12 වන දින ජනාධිපති කාර්යාලයේදී පියවර ගන්නා බව සඳහන් කළේය.

එහිදී විශේෂයෙන් කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි විදුලිබල ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයේ අනුමැතිය ලබාගැනීමටත් ඉන් ඇති වන වාසි සම්බන්ධව අවධානය යොමු කිරීමටත් නියමිතය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *