මැලේසියාවේ දූෂණ මර්ධන කොමිෂන් සභාවේ (MACC) මීළඟ ප්‍රධානියා තමා විසින්ම තෝරා ගනු ලබන බව එරට සුල්තාන් ඉබ්‍රාහිම් රජු අද (23) ප්‍රකාශ කළේය. එම ආයතනයේ වර්තමාන ප්‍රධානී අසාම් බාකි මහතාට එරෙහිව එල්ල වී ඇති විෂමාචාර චෝදනා හේතුවෙන් ඔහුට ඉල්ලා අස්වන ලෙස දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින පසුබිමක රජු මෙම තීරණය ගෙන තිබේ.
අසාම් බාකි මහතා සහ එම ආයතනයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් රාජ්‍ය සේවා නීති උල්ලංඝනය කර ඇති බවට පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වූ අතර, එම චෝදනා පදනම් විරහිත බව ඔවුහු පවසති. මෙම මතභේදාත්මක තත්ත්වය අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම්ගේ රජය තුළ ද යම් අර්බුදකාරී ස්වභාවයක් මතු කර ඇති අතර, මෙම පත්වීම දේශපාලනීකරණය නොකළ යුතු බවත්, ආයතනයේ ස්වාධීනත්වය සුරැකීම රජුගේ අරමුණ බවත් සුල්තාන් ඉබ්‍රාහිම් රජු වැඩිදුරටත් අවධාරණය කළේය. අසාම් බාකි මහතාගේ සේවා කාලය එළඹෙන මැයි මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත.














