මැලේසියාවේ දූෂණ මර්ධන ආයතනයේ (MACC) වත්මන් ප්‍රධානියාට එරෙහිව එල්ල වී ඇති විෂමාචාර චෝදනා හමුවේ, එහි මීළඟ ප්‍රධානියා තමා විසින්ම තෝරා ගන්නා බව මැලේසියාවේ සුල්තාන් ඉබ්‍රාහිම් (Sultan Ibrahim) රජු අද (අප්‍රේල් 23) ප්‍රකාශ කළේය. දූෂණ මර්ධන කොමිසමේ වත්මන් ප්‍රධාන කොමසාරිස් අසාම් බාකි (Azam Baki) හට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ඔහුට ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින පසුබිමක රජු මෙම තීරණය ගෙන තිබේ.
වත්මන් ප්‍රධානී අසාම් බාකි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් රාජ්‍ය සේවා නීති උල්ලංඝනය කර ඇති බවට පසුගිය පෙබරවාරි මාසයේදී මාධ්‍ය වාර්තා පළ විය. අසාම් බාකි මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇතත්, ඔහුගේ සේවා කාලය එළඹෙන මැයි මාසයෙන් අවසන් වීමට නියමිතය. මෙම අර්බුදය අගමැති අන්වර් ඉබ්‍රාහිම්ගේ රජය තුළ ද යම් මතභේදකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ.
මෙම පත්වීම දේශපාලනීකරණය නොකළ යුතු බව අවධාරණය කරන රජු, රටේ දූෂණය, අක්‍රමිකතා සහ බලය අවභාවිතය වැළැක්වීම සඳහා මෙම තනතුරේ ස්වාධීනත්වය අතිශය වැදගත් බව පෙන්වා දෙයි. රජු විසින් සෘජුවම මැදිහත් වී මෙම පත්වීම සිදු කිරීම හරහා දූෂණ මර්ධන ආයතනය කෙරෙහි පවතින මහජන විශ්වාසය යළි ගොඩනැගීමට බලාපොරොත්තු වේ.
















