ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් Masood Imad මහතා අද (සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා හමුවිය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා වැඩ භාරගැනීම වෙනුවෙන් මාලදිවයින් මහකොමසාරිස්වරයා මෙහිදී සිය සුභාශිංසන පිරිනමන ලදී. කලාපීය සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සහ දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීම ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශ්වය අතර සුහද සාකච්ඡාවක් පැවැත්වුණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර, මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් Hassan Amir මහතා ද මෙම නිල හමුවට එක්ව සිටියේය.














