නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ ශ්‍රී ලංකා රජය අතර හෙට (සැප්තැම්බර් 09) ආරක්ෂක හා අධ්‍යාපනික ක්ෂේත්රවලට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම් තුනකට අත්සන් තැබෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවන අවස්ථාවේදී මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය. දෙරටේ ශිෂ්‍යභට කණ්ඩායම් අතර ඒකාබද්ධ පුහුණු සහ හුවමාරු වැඩසටහනක්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ඉන්දියාවේ ආරක්ෂක විද්‍යාපීඨය අතර දැනුම හා උපදේශකයින් හුවමාරු කරගැනීමේ ගිවිසුමක්, සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු 40L70 ගුවන් ආරක්ෂක අවි නොමිලයේම නඩත්තු කරදීම සඳහා වූ ගිවිසුමක් ඊට ඇතුළත් වේ. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා හෙට දිනයේදී අග්‍රාමාත්‍යවරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට ද, ගංගාරාම විහාරස්ථානයේ බෝධි පූජාවකට සහ නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ වන්දනාවකට ද එක්වීමට නියමිතය.














