මාලදිවයිනේ වාවු අතොළුව (Vaavu Atoll) ආසන්නයේ මුහුදු ගුහා ගවේෂණය කරමින් සිටියදී අනතුරකට පත්ව මියගිය ඉතාලි ජාතිකයන් පිරිසකගේ සිරුරු සෙවීමේ මෙහෙයුමක නිරතව සිටි මාලදිවයින හමුදාවේ කිමිදුම්කරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මාහ්දී නමැති හමුදා සෙබළෙකු වන අතර ඔහු සිරුරු සෙවීමේ මෙහෙයුම අතරතුර ජලය මතුපිටට නොපැමිණීම නිසා සිදුකළ සොයා බැලීමේදී සිහිසුන්ව සිටියදී සොයාගෙන ඇත. වහාම රෝහල්ගත කළද ඔහු පසුව මියගොස් ඇති අතර මෙම මෙහෙයුම ඉතා අවදානම් සහගත සහ අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ සිදුකළ යුත්තක් බව මාලදිවයින බලධාරීහු පවසති.
පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන මීටර් 50ක් පමණ ගැඹුරු මුහුදේ පිහිටි ගුහා ගවේෂණය කිරීමට ගිය ඉතාලි ජාතිකයන් පස් දෙනෙකු මෙලෙස අතුරුදන් වූ අතර ඉන් එක් අයෙකුගේ සිරුර මීටර් 60ක් පමණ ගැඹුරු ගුහාවක තිබී මේ වන විට හමුවී තිබේ. මියගිය පිරිස අතර ඉතාලියේ ජෙනෝවා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක, ඇගේ දියණිය සහ පර්යේෂකයන් දෙදෙනෙකු ඇතුළත් වන බව තහවුරු වී ඇත. මාලදිවයිනේ විනෝදාත්මක කිමිදුම් කටයුතු සඳහා අවසර ඇත්තේ මීටර් 30ක උපරිම ගැඹුරකට වුවද මෙම පිරිස මීටර් 60ක් තරම් ගැඹුරු ප්‍රදේශයකට ගියේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා සිය කනගාටුව පළ කර ඇති අතර ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි මහතාද සිය රටේ වැසියන්ගේ සිරුරු සෙවීමට ගොස් මියගිය නිර්භීත මාලදිවයින සෙබළා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කර තිබේ. මේ වන විට ඉතාලි තානාපති කාර්යාලයේ සහය ඇතිව සිරුරු සොයා ගැනීමේ කටයුතු සහ අනෙක් පිරිසට අවශ්‍ය සහය ලබාදීම සිදුවෙමින් පවතී. මෙය මාලදිවයින ඉතිහාසයේ සිදුවූ දරුණුතම කිමිදුම් අනතුරක් ලෙස ද සැලකේ.














