27 April 2024
#ව්‍යාපාර

මැලිබන් සමාගම “Great Place to Work” සහතිකකරණය හිමිකර ගනී

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය හා ගෞරවය දිනූ සන්නාමයක් වන මැලිබන් බිස්කට්ස්, පසුගියදා “Great Place to Work” සහතිකකරණය හිමිකර ගැනීමට සමත් විය.

තම කාර්ය මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් දක්වන උනන්දුව හා කැපවීම හේතුවෙන් සමාගම වෙත මෙම සහතිකකරණය හිමි වී තිබේ. දශක ගණනාවක් තිස්සේ සිය කාර්ය මණ්ඩලයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරමින්, ආයතනික සංස්කෘතිය වැඩිදියුණු කිරීම සඳහා මැලිබන් දැරූ උත්සාහයේ සාර්ථකත්වයට මෙය මනා සාක්ෂියකි.

2021 අප්‍රේල් සිට 2022 මාර්තු දක්වා කාලය සඳහා මැලිබන් වෙත මෙම “Great Place to Work” සහතිකකරණය හිමි වී තිබේ. දක්ෂ වෘත්තිකයන් ආකර්ෂණය කරගැනීම සහ, ඔවුන් සමාගම තුළ රඳවා ගැනීම සඳහා කළමනාකාරීත්වය විසින් ක්‍රියාවට නංවන ලද විවිධාකාර වූ වැඩසටහන් මෙම සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවක් වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැලිබන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා එම්.ජී. කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවා ය. “වගවීම, වගකීම්සහගත භාවය සහ සමාජ වටිනාකම් නිර්මාණය කිරීම අපගේ ආයතනික ආචාර ධර්ම අතර ප්‍රධාන තැනක් ගන්නවා. එමෙන්ම ඒවා අපගේ ආයතනික පදනමේ කොටසක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. 2021 – 2022 මූල්‍ය වර්ෂය වෙනුවෙන් “Great Place to Work” සහතිකකරණය හිමිවීම අපට ආඩම්බරයක්. මේ සහතිකකරණය අප වෙත හිමි වූයේ ප්‍රථම වතාවටයි.

මෙය අපගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ධනාත්මක ආයතනික පරිසරයක් සකස් කිරීම සඳහා අප දැරූ උත්සාහයන්ට ලැබුණු ඇගයීමක් ලෙස අප දකිනවා. අප සෑම විටම උත්සාහ කරන්නේ අපගේ කාර්ය මණ්ඩලයට සතුටින් රාජකාරි කළ හැකි, විශ්වසනීයත්වයෙන් හා සාධාරණත්වයෙන් සපිරි, වෘත්තීය අභිවෘද්ධිය උදෙසා ප්‍රමාණවත් තරම් අවස්ථාවන් පවතින ආයතනික සම්ප්‍රදායක් පවත්වාගෙන යාමටයි. අභ්‍යන්තර වටිනාකම් නිර්මාණය කිරීම පිළිබඳ අපගේ ප්‍රතිඥාව, ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක හා ගෞරවණීය බිස්කට් සමාගම බවට පත්වීම ඉලක්ක කරගත් අපගේ දැක්ම මත ගොඩනැගී තිබෙනවා. ඉදිරියේදී මැලිබන් ආයතනයේ රැකියා පරිසරය තවදුරටත් වැඩිදියුණු කිරීම අපගේ බලාපොරොත්තුවයි.”

මැලිබන් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා මෙසේ අදහස් දැක්වී ය. “COVID-19 රෝග ව්‍යාප්තියත් සමග ඇති වූ බරපතළ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, අපගේ කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයන් සහ අනෙකුත් හවුල්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වහාම අවශ්‍ය පියවර ගැනීමට අප කටයුතු කළා. සෞඛ්‍ය හා සුරක්ෂිතතා විධිවිධාන අනිවාර්ය කෙරුණු අතර, අප කාර්ය මණ්ඩලයට ආයතන පරිශ්‍රයේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සිදුකෙරුණු මාසික ආයෝජනය රු. මිලියන 30 කට අධිකයි. මැලිබන් පවුලේ සාමාජිකයන් වන අපගේ කාර්ය මණ්ඩලයේ යහපත උදෙසා අප සෑම විටම ප්‍රමුඛත්වය ලබාදෙනවා. විවිධ බාධක මැද ධනාත්මකව එම තත්ත්වයට මුහුණ දීමට අවශ්ය වටපිටාව අප අපගේ කාර්ය මණ්ඩලයට සලසා දුන්නා. ඒ නිසාම, අභියෝග හමුවේ වුවත් කාර්ය මණ්ඩලය අඩු කිරීමක් හෝ වැටුප් අඩු කිරීමක් සිදුවූයේ නැහැ.”

‘Great Place to Work® CertifiedTM’ වැඩසටහන තුළදී විශ්වසනීයත්වය, ගෞරවය, සාධාරණත්වය, අභිමානය හා සුහදත්වය යන මානයන් යටතේ සමාගම් හා ආයතන වල සේවක අත්දැකීම් විශ්ලේෂණයට ලක්කෙරේ. මැලිබන් සමාගමේ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් මට්ටමේ සමීක්ෂණයකින් පැහැදිලි වූයේ, ඔවුන්ගේ පෞද්ගලික හා ආර්ථික යහපැවැත්ම තහවුරු වන ආකාරයේ ආයතනික පරිසරයක් මැලිබන් සමාගම තුළ පවතින බවයි.

Great Place to Work® සහතිකකරණය හිමිකර ගැනීම යනු, දීර්ඝකාලීන සමාජමය වටිනාකම් නිර්මාණය කිරීම සඳහා මැලිබන් සමාගම දරන පුළුල් මට්ටමේ උත්සාහයක පළමු පියවරයි. එය තිරසාරත්වය මූලික කරගත් ක්‍රමෝපායක් ඔස්සේ සමාජයීය වශයෙන් වගකීම්සහගත සමාගමක් ලෙස කටයුතු කිරීමට මැලිබන් දරන උත්සාහයේ අනිවාර්ය අංගයක්ද වේ.

පිටපත – PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *