ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ප්‍රමිතිය ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීම අරමුණු කරගනිමින් බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය (WPBA) සංවිධානය කළ උසස් මට්ටමේ පුහුණුකරුවන්ගේ ප්‍රවීණ පාඨමාලාව සාර්ථකව නිම කර තිබේ. ජූනි 22 සිට 27 දක්වා දින හයක් පුරා වෙළඳ බැඩ්මින්ටන් භාරකාර මණ්ඩල ක්‍රීඩාංගණයේදී පැවැති මෙම වැඩසටහන සඳහා මෙරට බැඩ්මින්ටන් පුහුණුකරුවන් 47 දෙනෙකු සහභාගී වූහ.
මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවනු ලැබුවේ ජපාන සහ කොරියානු ජාතික බැඩ්මින්ටන් කණ්ඩායම්වල මෙන්ම ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ (BWF) ලෝක පුහුණු මධ්‍යස්ථානයේ ද හිටපු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ, ජාත්‍යන්තර කීර්තිමත් පුහුණුකරුවෙකු වන කිම් යොං මෑන් (Kim Yong Man) මහතා විසිනි. මෙහිදී නවීන පුහුණු ක්‍රමවේද, උපායමාර්ගික සංවර්ධනය, ක්‍රීඩක සූදානම සහ උසස් තාක්ෂණික ක්‍රම පිළිබඳව පුහුණුකරුවන්ට පුළුල් ප්‍රායෝගික දැනුමක් ලබා දී ඇත.
මෙහි සහතික පත්‍ර ප්‍රදානෝත්සවය කොළඹ ඔලිම්පික් නිවසේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ බොට්ස්වානා ගෞරව නියෝජ්‍ය කොන්සල් ජනරාල් සහ APACS ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජයසිරි සිල්වා මහතා එක් වූ අතර, APACS ආසියා කලාපීය ප්‍රවර්ධන ප්‍රධානී පැට්‍රීෂියා ඇලෙක්සැන්ඩර් මහත්මිය ද සහභාගී වූවාය. පාඨමාලාව සාර්ථකව නිමකළ පුහුණුකරුවන් වෙත APACS ආයතනයේ අනුග්‍රහයෙන් වටිනා බැඩ්මින්ටන් රැකට් සහ නිල ටී-ෂර්ට් ද මෙහිදී තෑගි කෙරිණි.
















