27 April 2024
#දේශීය

රටට මන්දපෝෂණය ආණ්ඩුවට අධි පෝෂණය – විපක්ෂනායක

සෞභාග්‍යයෙ දේශයක් නිර්මාණය කරනවා කියා පුරසාරම් දොඩවමින් පැමිණි ආණ්ඩුව අත්පත්කොට දී ඇත්තේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බවත්, රටට මන්දපෝෂණය වැළඳී තිබියදී ආණ්ඩුවට අධිපෝෂණය වැළඳී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (18) ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

එදා අසාධාරණයට ලක් වූ සියලු දෙනාට යුතුකම් ඉටු කිරීමට තමන් කැපවෙන බව වර්තමාන ජනාධිපතිවරයා එවක ප්‍රකාශ කළත් අද යුතුකම් ඉටුකරමින් සිටින්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අඩත්තේට්ටම් කළ වැරදිකරුවන්ට ඇමති තනතුරු ලබා දීමෙන් බව හෙතෙම පැවසීය.

අද එජාපයේ ඇතමුන්ට මහින්ද රාජපක්ෂ මහතා ළඟට ගොස් වැඳ වැටෙමින් තම තමන්ගේ දුක යන්නට සිදුවී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, වර්තමාන ජනාධිපතිවරයා යටතේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අත්වී ඇති ඉරණම කනගාටුදායක බවත් නොමඟ ගිය පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ද අනාගතයේ දී නාමයෝජනා ගන්නට සිදුවන්නේ නෙළුම් මාවතේ කපුටෙකුගෙන් බවත් ඒ මහතා පැවසීය.

මේ වන විට මුළු මහත් ජාත්‍යන්තරයෙන් ම ආණ්ඩුවට අනතුර එල්ල වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඉන්දියාව ආධාර නැවත ලබා නොදෙන බව පවසා ඇති බවත්, රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වනතුරු කිසිදු සහයක් නොදෙන බවට ජාත්‍යන්තර සංවිධාන පවසා ඇති බවත් පැවසීය.

මුළු රටම බරපතළ අර්බුදයක සිටියදී ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු ප්‍රිය සම්භාෂණ වලදී ගිණිකෙළි සංදර්ශන පවත්වන බව පැවසූ ප්‍රේමදාස මහතා ඔවුන් එම තනතුරු ලබා ගත්තේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බවද පැවසීය.

මේ රට ගොඩනැඟිය හැක්කේ මානුෂීය ධනවාදය තුලින් බව පැවසූ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් කැප වන බව ද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *