මෝල්ටාවේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද විමසීම අද (30) උදෑසන ආරම්භ විය. මත විමසුම්වලට අනුව, වත්මන් අග්‍රාමාත්‍ය රොබට් අබේලාගේ නායකත්වයෙන් යුත් පාලක කම්කරු පක්ෂය (Labour Party) වාර්තාගත ලෙස සිව්වන වරටත් මැතිවරණ ජයග්‍රහණය ලබා ගැනීමට නියමිත බව අනාවැකි පළ වේ.
වසර පහක ධුර කාලයෙන් වසර හතරක් පමණක් ගතවී තිබියදී අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කල්තියා මැතිවරණය කැඳවනු ලැබුවේ, පවතින අවිනිශ්චිත ජාත්‍යන්තර වාතාවරණය හමුවේ රටට මතුවිය හැකි අභියෝග සැලකිල්ලට ගනිමිනි. යුරෝපා සංගමයේ වේගවත්ම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන රටවල් අතරට මෝල්ටාව එක්වී ඇති අතර, පසුගිය වසරේ එහි ආර්ථික වර්ධනය 4%ක් ලෙස වාර්තා විය. එසේම, මෝල්ටාවේ උද්ධමනය පහළ මට්ටමක පවතින අතර විරැකියාවක් නොමැති තරම්ය. මීට අමතරව, පසුගිය වසර දහයක කාලය පුරා විදුලි බලය සහ ඉන්ධන මිල ස්ථාවරව පවත්වා ගැනීමට රජය සමත් වී ඇති අතර, එම මිල ගණන් දැනට යුරෝපයේ පවතින අවම මිල ගණන් වේ.
















