හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට මීට පෙර චෝදනා එල්ල වූ, නඩු විභාගයකින් පසුව අයිතිකරුවකු නොමැති බව ප්‍රකාශ වී දැනට අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින මල්වානේ පිහිටි අක්කර 16ක භූමිය සහ මන්දිරය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) විසින් ඊයේ (14) තම භාරයට ගනු ලැබීය. සරසවි පද්ධතිය තුළ පවතින ඉඩකඩ හිඟයට විසඳුමක් ලෙස මෙම දේපළ වහාම අධ්‍යාපන කටයුතු සඳහා පවරා දෙන ලෙස බල කරමින් ඔවුහු මෙම පියවර ගෙන තිබේ.
වර්තමාන විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දී සිටින දැඩි ඉඩකඩ සහ ගොඩනැඟිලි හිඟය හමුවේ මෙවැනි සුඛෝපභෝගී මන්දිර සහ විශාල භූමි ප්‍රමාණයක් රජයට පවරා ගැනීමෙන් පමණක් සෑහීමකට පත් නොවන බව ශිෂ්‍ය නායකයෝ පෙන්වා දෙති. විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව පිහිටි සරසවිවල සිසුන්ගේ අධ්‍යයන හෝ නේවාසික අවශ්‍යතා සඳහා මෙම මන්දිරය ප්‍රායෝගිකව භාවිත කළ හැකි බව ඔවුන්ගේ ප්‍රධාන තර්කයයි.
මෙම භූමිය ජනතාවගෙන් කොල්ලකෑ වත්කමක් ලෙස හඳුන්වන ශිෂ්‍ය බලමණ්ඩලය, ජනතා දේපළ යළි ජනතාවට ලබාදීමේ රජයේ පොරොන්දුව ප්‍රායෝගිකව ඉටු කළ යුතු බව අවධාරණය කරයි. මතු පරම්පරාවේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙවැනි දේපළ අධ්‍යාපන ආයතන වෙත පවරා දීම රජයේ වගකීමක් බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.
අයිතිකරුවෙකු ඉදිරිපත් නොවූ මෙම මල්වාන පරිශ්‍රය තුළ කඳවුරු බඳිමින් අඛණ්ඩ සටනක් මෙහෙයවීමට ශිෂ්‍යයෝ තීරණය කර ඇති අතර, තම සාධාරණ අරගලයට බාධා නොකරන ලෙස ඔවුන් ආරක්ෂක අංශවලින්ද ඉල්ලා සිටියහ. මෙම ස්ථානය නිල වශයෙන් අධ්‍යාපනික කටයුත්තක් සඳහා වෙන් කරන තෙක් තම අරගලය අත්නොහරින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කර සිටී.














