පසුගිය මාස හයක කාලය පුරා ආර්සනල් (Arsenal) කණ්ඩායම සතු කරගෙන සිටි ප්‍රේමියර් ලීගයේ ප්‍රමුඛස්ථානය තමන් සතු කර ගැනීමට මැන්චෙස්ටර් සිටි (Manchester City) කණ්ඩායම සමත්ව තිබේ. බදාදා (22) දින බර්න්ලි (Burnley) කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් 1-0ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමඟ ඔවුන් මෙලෙස ලකුණු සටහනේ පෙරමුණට පැමිණ ඇත. මෙම පරාජයත් සමඟ බර්න්ලි කණ්ඩායමට මෙවර ලීගයෙන් ඉවත් වීමට (Relegation) සිදුවීම ද විශේෂත්වයකි.
තරඟය ආරම්භ වී මිනිත්තු පහක් ගතවන විට අර්ලින් හාර්ලන්ඩ් (Erling Haaland) විසින් වාර්තා කළ සුපිරි ගෝලය මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. හාර්ලන්ඩ් හට තවත් ගෝල ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම හිමි වූ අතර ඉන් එකක් ගෝල කණුවේ වැදී පරාජය විය. බර්න්ලි කණ්ඩායම ප්‍රබල ආරක්ෂක ක්‍රීඩා රටාවක නිරත වීම හේතුවෙන් පෙප් ගාඩියෝලාගේ (Pep Guardiola) මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට වැඩි ගෝල සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වූ අතර අවසානයේ ඔවුන්ට තනි ගෝලයකින් සෑහීමකට පත්වීමට සිදු විය.














