අම්පාර දිස්ත්‍රික්කයේ එරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඓතිහාසික මාණික්කමඩු පුරාණ රාජමහා විහාර පරිශ්‍රයේ සිදුකෙරෙන පුරාවිද්‍යාත්මක කැණීම්වලදී අද්විතීය ද්විත්ව චෛත්‍යයක කොටස් අනාවරණය වී තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් සහකාර කැණීම් අධ්යක්ෂ අනුෂාන් මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන මෙම කැණීම්වලදී හමුවූ ද්විත්ව චෛත්‍ය ව්‍යුහය, නැගෙනහිර පළාතේ සිදුකළ පුරාවිද්‍යා කැණීමකදී වාර්තා වූ ප්‍රථම අවස්ථාව ලෙස හඳුනාගෙන ඇත. 2014 ඔක්තෝබර් 10 දිනැති ගැසට් නිවේදනය යටතේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මෙම භූමියෙන් මීට පෙර සිදුකළ කැණීම්වලදී අනුරාධපුර යුගයට අයත් බවට විශ්වාස කෙරෙන මැටි කරඬුවක්, මැටි රූපයක්, පහනක් සහ පබළුවක් ඇතුළු පුරාවස්තු රැසක් හමුවී තිබුණි.
ජාතික විගණන කාර්යාලය විසින් 2019 වසරේ සිදුකළ විගණන වාර්තාවලදී මෙම ස්ථානය දීඝවාපිය චෛත්‍යයේ පරිවාර චෛත්‍යයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ගල් පර්වත මත කපා සකස් කළ පියගැටපෙළ, ලෙන් සහ ගඩොල් නටබුන් රැසක්ද මෙහි දක්නට ලැබේ. ජනප්රවාදයට අනුව දීඝවාපිය චෛත්‍යයට අදාළ වටිනා මැණික් තැන්පත් කළ ස්ථානයක් ලෙස මාණික්කමඩුව ප්‍රසිද්ධ වුවද, හමුවූ ද්විත්ව චෛත්‍යයේ නිශ්චිත කාල නීර්ණය සහ වාස්තු විද්‍යාත්මක සම්බන්ධතා පිළිබඳ ඉදිරි විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.














