2026 වසරේ ජනවාරි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට ඉතා වේගයෙන් සිදුවෙමින් පවතී. මෙගාවොට් 50ක ධාරිතාවකින් යුත් මෙම බලාගාරය සඳහා අවශ්‍ය පළමු ටර්බයින තොගය මීට සති කිහිපයකට පෙර දිවයිනට ළඟා වූ අතර, ඉතිරි සියලු උපාංග මේ වන විට ත්‍රිකුණාමලය වරායට ළඟා වී ගොඩබෑමේ කටයුතු සිදුවෙමින් පවතී.
මෙම ව්‍යාපෘතිය මගින් එක් විදුලි ඒකකයක් ඇමෙරිකානු ඩොලර් 0.0465ක (ශ්‍රී ලංකා රුපියල් 14.37) මිලකට මිලදී ගැනීමට ගිවිසුම්ගත වී ඇති අතර, එය ශ්‍රී ලංකා ඉතිහාසයේ සුළං බලයෙන් නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවනු ලබන අඩුම මිල වේ. මෙම බලාගාරය ජාතික විදුලි පද්ධතියට එක්වීමත් සමඟ පොසිල ඉන්ධන ආනයනය සීමා වන අතර, ඒ හරහා වසරකට රුපියල් බිලියන 4.7ක පමණ විදේශ විනිමයක් රටට ඉතිරි කර ගැනීමට හැකි වේ.
2030 වන විට මෙරට ජාතික විදුලිබල පද්ධතියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සැපයීමේ රජයේ ඉලක්කය කරා ලඟාවීමේ ආරම්භක පියවරක් ලෙස මෙය සැලකේ. එමෙන්ම 2050 වන විට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමටද මෙය මහත් පිටුවහලකි. ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලියකින් තෝරාගත් Hayleys Fentons PLC සමාගම විසින් ටර්බයින ස්ථාපනය සහ නඩත්තු කටයුතු සිදු කරනු ලබන අතර, බලශක්ති අමාත්‍යංශයට අයත් ජාතික පද්ධති කළමනාකරු සමාගම (NSO) විසින් මෙහි පද්ධති පාලනය සහ කළමනාකරණය සිදු කරනු ලබයි.














