තම සිරකුටියේ සිටි අනෙක් සිරකරුවාට පෑනකින් ඇන ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ 43 හැවිරිදි මාකස් ටෙරී (Marcus Terry) නමැති පුද්ගලයාට පසුගිය අඟහරුවාදා ෆ්ලොරිඩා අධිකරණයක් මගින් සමාවක් නොමැති ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී. විනිසුරුවරිය විසින් මෙම අතිශය කෲර ඝාතනය සිදු වූ ආකාරය විස්තර කරන අවස්ථාවේදී විත්තිකරු සිනාසෙමින් සහ සමච්චල් කරමින් හැසිරීම කාගේත් දැඩි අවධානයට ලක් විය.
2021 වසරේදී හෝම්ස්ටෙඩ් (Homestead) හි පිහිටි ඩේඩ් නිවැරදි කිරීමේ ආයතනය (Dade Correctional Institution) තුළදී මාකස් ටෙරී විසින් 64 හැවිරිදි රේ මැටෝස් (Ray Matos) නමැති සිරකරුවාගේ හිසට පෑනකින් ඇන මෙම ඝාතනය සිදු කර තිබුණි. විනිසුරු එලන් සූ වෙන්සර් (Ellen Sue Venzer) සඳහන් කළේ ඔහු පෑනක් ගෙන රේ මැටෝස්ගේ මොළයටම කිඳා බැස යන සේ ඇන ඇති බවයි. මිනීමැරුමේ විස්තර ඉදිරිපත් කරන විට මාකස් ටෙරී සිනාසෙන්නට පටන් ගත් අතර, “ඔබ සිනාසෙන්නේ ඇයි දැයි මට වැටහෙන්නේ නැහැ” යනුවෙන් පවසමින් විනිසුරුවරිය සිය පිළිකුල පළ කළාය.
විත්තිකරුගේ නීතිඥවරයා විසින් අලුතින් නඩු විභාගයක් ඉල්ලා සිටියද විනිසුරුවරිය එය ප්‍රතික්ෂේප කරමින්, කිසිදු සමාවක් නොමැතිව ජීවිත කාලය පුරාම සිරගතව සිටීමට ඔහුට දඬුවම් නියම කළාය. “දෙවියන් වහන්සේ ඔබේ ආත්මයට කරුණාව දක්වනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් පවසමින් විනිසුරුවරිය සිය තීන්දුව අවසන් කළාය.















