රජය විසින් පනවා ඇති අධික ඍජු සහ වක්‍ර බදු බර හේතුවෙන් මේ වන විට සමස්ත ජනතාවම දැඩි පීඩනයකට පත්ව සිටින බවත්, භාණ්ඩාගාරය රුපියල්වලින් පිරී ඇතැයි ආණ්ඩුව පැවසුවද ජනතාව තම මූලික ජීවන වියදම් පවා පියවාගත නොහැකිව අන්ත අසරණ වී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කොළොන්නාවේදී ප්‍රකාශ කළේය.
රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ගොවියා පොහොර හිඟය නිසාත්, ගෘහණියන් බඩු මිල ඉහළ යාම නිසාත්, ත්‍රිරෝද රථ රියැදුරන් ඉන්ධන මිල ඉහළ යාම නිසාත් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි. පෞද්ගලික අංශයේ සේවකයන් පවා අධික බදු බර හමුවේ පීඩාවට පත්ව සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
ජනතාව මුහුණ දී ඇති මෙම අභියෝගාත්මක තත්ත්වය පිළිබඳව මරික්කාර් මන්ත්‍රීවරයා මෙසේ විස්තර කළේය.
“භාණ්ඩාගාරය පිරී ඉතිරී ගොස් ඇතැයි ආණ්ඩුව පැවසුවද, ජනතාව අද වතුර බිල, ලයිට් බිල ගෙවාගත නොහැකිව, දරුවන්ට කෑම බීම ලබා දීමට හෝ ටියුෂන් පන්ති යැවීමට නොහැකිව ඉතා අමාරු අඩියකට වැටී සිටිනවා. සතියකට එක් වරක් හෝ මස් මාළු වේලක් කෑමට එකතු කරගත නොහැකි මට්ටමට බොහෝ පවුල් පිරිහී තිබෙනවා. අද වන විට ඇතැම් මව්වරුන්ට තම දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දිය හැකි වන්නේ සතියකට දින එකක් හෝ දෙකක් පමණයි.”
මේ අතර ගංවතුරින් විපතට පත් කොළොන්නාවේ පවුල් දහසකට වන්දි මුදල් මෙතෙක් නොලැබීම පිළිබඳව ද මන්ත්‍රීවරයා සිය කනස්සල්ල පළ කළේය. ඔප්පු නොමැති වීම හෝ අනවසර පදිංචිය වැනි හේතු දක්වමින් වන්දි ලබා දීම ප්‍රමාද කිරීම අසාධාරණ බවත්, ගංවතුර නිවාසවලට හානි කරන විට ඒවායේ නීතිමය තත්ත්වය බලන්නේ නැති බවත් ඔහු පෙන්වා දුන්නේය. 2016 වසරේ ගංවතුර තත්ත්වයේදී තමන් මැදිහත් වී ලක්ෂ විසිතුන් දහසක සහන ජනතාවට ලබා දුන් බවද ඔහු සිහිපත් කළේය.
මුල්ලේරියාව, සිරිසේන ගමගේ
















