මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය බටහිර දෙසින් සිරවී ඇති නැව්වලට ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබාදෙන බව පවසමින්, නැව් සමාගම් වෙත වංචනික පණිවිඩ ලැබෙමින් පවතින බව ග්‍රීක සමුද්‍රීය අවදානම් කළමනාකරණ ආයතනයක් වන MARISKS අනතුරු අඟවයි.
ඉරාන බලධාරීන් නියෝජනය කරන බව පවසන නන්නාඳුනන පිරිසක්, නැව් සමාගම් වෙත පණිවිඩ යවමින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට අවශ්‍ය “අනුමැතිය” ලබා ගැනීම සඳහා Bitcoin හෝ Tether වැනි ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) වලින් ගෙවීම් කරන ලෙස ඉල්ලා සිටිති. මෙය සම්පූර්ණයෙන්ම වංචනික ක්‍රියාවක් බවත්, ඉරාන බලධාරීන් එවැනි ඉල්ලීමක් කර නොමැති බවත් MARISKS ආයතනය අවධාරණය කරයි.
ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු අවශ්‍යතාවයෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දමා ඇති අතර, දැනට පවතින සාම සාකච්ඡා අතරතුර නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානය යෝජනා කර තිබේ. මෙම ව්‍යාකූල තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට වංචාකරුවන් උත්සාහ කරමින් සිටින බව පෙනී යයි.
දැනට නෞකා සිය ගණනක් සහ නාවිකයින් 20,000ක් පමණ පර්සියානු ගල්ෆ් කලාපයේ සිරවී සිටිති. පසුගිය අප්‍රේල් 18 වැනිදා ඉරානය කෙටි වේලාවකට සමුද්‍ර සන්ධිය විවෘත කළ අවස්ථාවේදී ගමන් කිරීමට උත්සාහ කළ නෞකා දෙකකට ඉරාන යාත්‍රාවලින් වෙඩි ප්‍රහාර එල්ල වූ අතර, ඉන් පසුව එම නෞකාවලට නැවත හැරී යාමට සිදුවූ බව ද වාර්තා වේ.















