මාතර අපරැක්ක ආයුර්වේද රෝහලේ අක්ෂි සායනය සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්ත්වය පිළිබඳ දැනගත් විගස එම රෝහල වෙත ගොස් සොයා බැලූ දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා, එහිදී හඳුනාගත් ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත. ඒ අනුව, අක්ෂි සායනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ රෝගීන්ට වඩාත් කාර්යක්ෂම හා පහසු සෞඛ්‍ය සේවාවක් ලබාදීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පෙරවරුවේ දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
අපරැක්ක ආයුර්වේද රෝහලේ අක්ෂි සායනය සඳහා දිනකට විශාල රෝගීන් පිරිසක් පැමිණෙන බැවින් දැනට පවතින ගොඩනැගිල්ල ප්‍රමාණවත් නොවන බව අනාවරණය වී ඇති අතර, ඒ සඳහා දෙවුන්දර ප්‍රාදේශීය සභාව සතු ගොඩනැගිල්ලක් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකර යොදා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි. එමෙන්ම, රෝගීන්ගේ තොරතුරු ක්‍රමවත් ලෙස කළමනාකරණය කිරීමට බාහිරව දත්ත කළමනාකරණ නිලධාරියෙකු ලබාගැනීම ඇතුළුව රෝහලේ පවතින සේවක හිඟය පිරවීම සඳහා අවශ්‍ය මානව සම්පත් ලබාදීමේ හැකියාව පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
රෝගීන්ගේ අවශ්‍යතා ප්රමුඛ කරගනිමින්, අපරැක්ක ආයුර්වේද රෝහලේ අක්ෂි සායනය වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්, ප්‍රධාන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රසිකා ද සිල්වා, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්. ජී. එස්. පණ්ඩිතරත්න, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ සහකාර ලේකම් එච්. ඩී. ඩී. එස්. ඩබ්. හේරත්, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එම්. එම්. එස්. එන්. මනතුංග, දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කේ. එම්. ප්‍රියන්ත, අපරැක්ක ආයුර්වේද රෝහලේ වෛද්‍ය චින්තක දේශප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.














